දිවියෙන් සමුගත් බොලිවුඩ් සුපිරි තාරකා ශ්‍රීදේවි වෙනුවෙන් වූ ගුණකථන සහ සිහිකැඳවීම් දෝරේ ගලමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
54 වැනි වියෙහි පසුවූ ශ්‍රීදේවි ඩුබායි හි පැවති පවුලේ විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගී වෙමින් සිටියදී පසුගිය සෙනසුරාදා රාත්‍රියේ දිවියෙන් සමුගෙන තිබුණේ හදිසි හෘදයා බාධයක් හේතුවෙනි.
දශක පහක කාලය තුළ චිත්‍රපට රැසක සිය රංගන ප්‍රතිභාව පෙන්වා තිබූ ශ්‍රීදේවිගේ හදිසි අභාවයෙන් ඉන්දියාව මෙන්ම, ලොව බොහෝ රටවල සිටින ඇගේ රසික රසිකාවියන් කම්පා වන බව නොරහසකි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබුණේ තමන් මෙම පුවත ඇසීමෙන් දැඩි සංවේගයට පත්වූ බවයි.
ඇය වෙනුවෙන් ශෝක වන පිරිස් අතර සිනමා ක්ෂේත්රයට සම්බන්ධ සියලු තරාතිරම්වල පිරිස්, දේශපාලඥයන් මෙන්ම සුවහසක් ඇගේ රසික රසිකාවියන් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මේ බොහෝ දෙනෙකුට ඇගේ හදිසි වියෝව දරාගත නොහැකි වී ඇති අතර, ඔවුන් කම්පනයට පත්ව සිටින බවද එම වාර්තාවල කියැවෙයි.
එමෙන්ම, ඇගේ වියෝව ආරංචි වූ විගස මුම්බායි නුවර පිහිටි ශ්‍රීදේවිගේ නිවස වඩා ජනතාව රැස්වූ බවද සඳහන් වෙයි.
ශ්‍රීදේවිගේ ස්වාමි පුරුෂයා වන බොනී කපූර්ගේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ ඇයගේ දේහය ඩුබායි සිට මුම්බායි දක්වා අද (26දා) දිනයේදී රැගෙන එන බවයි.
ප්‍රියාංකා චොප්රා ට්විටර් පණිවුඩයකින් පවසා තිබුණේ, "මට කියන්න වචන නෑ. ඇයට ආදරය කරන සියලු දෙනා වෙනුවෙන් මගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. මෙය හරිම අඳුරු දිනයක්" යනුවෙනි.
ශ්‍රීදේවි සමකාලීන නිළියක වූ මදුරි ඩික්සිත් ට්විටර් පණිවුඩයකින් පවසා තිබුණේ, "චිත්‍රපට ක්ෂේත්රයේ පුරාවෘත්තයක් බඳු සුවිශේෂී දක්ෂතා සහිත පුද්ගලයෙකු ලෝකයට අහිමි වුණා" යනුවෙනි.
"ඇය සමග රිදී තිරයට පැමිණීම එකල බොහෝ දෙනෙකුගේ සිහිනයක් වුණා. ඉන් නොනැවතී ඇගේ ලාලිත්‍යය පසුගිය කාලය පුරාවටත් නොනැසී පැවතුණා" යනුවෙන් පවසා සිටියේ අක්ෂේ කුමාර්ය. මීට අමතරව, කමලා හසන්, රැජිනිකාන්ත්, අනිල් කපූර් ආදී වශයෙන් ඉන්දීය සිනමා ක්ෂේත්රයේ විශාල පිරිසක් ඇය වෙනුවෙන් සොව පළ කර තිබුණි.
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් ටිව්ටර් පණිවුඩයකින් පවසා තිබුණේ, "අපි සෑම දෙනාම ලොකු මහත් වුණේ ඈ දෙස බලමිනුයි. එක්වරම ඇය තවදුරටත් අප අතර නැහැ කියා කීවාම එය දරාගැනීම කිසිසේත්ම පහසු නෑ" යනුවෙනි.
ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද් පවසා තිබුණේ ශ්‍රීදේවිගේ හදිසි වියෝව ඇගේ රසික රසිකාවියන් මිලියන ගණනක්ගේ හදවත් කම්පා කරවා ඇති බවයි.
ශ්‍රීදේවි ඩුබායි විවාහ මංගල උත්සවය අවස්ථාවේදී අවසන් වරට ගත් ඡායාරූප