ඇමෙරිකා එක්සත් ජනපදය සමග නව සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට හැකිවනු ඇති බව උතුරු කොරියානු රජය බලාපොරොත්තු වෙයි.
උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් සහ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් අතර හෙට (12දා) පැවැත්වෙන ඓතිහාසික හමුව අභිමුව ඔවුන් මෙම අදහස් මතුකර තිබේ.
මෙම හමුව සඳහා දෙරටේම රාජ්ය නායකයන් ඊයේ (10දා) සිංගප්පූරුව වෙත පැමිණි අතර, ට්රම්ප් කියා සිටියේ මේ බලාපොරොත්තුසහගත හමුව ගැන තමාට ඉතා හොඳ හැඟීමක් පවතින බවයි.
අද (11දා) උදෑසන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්රම්ප් කියා සිටියේ සිංගප්පූරුවට පැමිණීම ගැන සතුටු වන බවයි. එමෙන්ම, ගුවන පුරා උද්යෝගයක් පවතින බවද ට්රම්ප කියා සිටියේය.
නායක දෙපළම සිංගප්පූරුවේ හෝටල් දෙකක නවාතැන් ගෙන සිටියත්, එම හෝටල් එතරම් දුරකින් පිහිටා නොතිබෙන බවද විදෙස් වාර්තා පවසයි.