ලොව පුරා මහත් ආන්දෝලනයට ලක්ව ඇති පැරඩයිස් පේපර්ස් (පාරාදීස ලිපිගොනු) හේතුවෙන් මේ වනවිට ලොව බොහෝ රටවල ප්‍රබල පුද්ගලයන් මෙන්ම, ප්‍රබල ආයතනද තිගැස්මකට ලක්ව ඇති බව නොරහසකි.
මෙම සුවිශේසී අනාවරණයේදී, බර්මූඩා රාජ්‍යයේ පිහිටි ඇපල්බයි නම් සමාගමක් වෙතින් මෙම ලිපිගොනුවලින් බහුතරය සොයාගෙන තිබූ අතර, එම සමාගම අවම බදු හෝ බදු නොගෙවිය යුතු සේ විදේශ බල ප්‍රදේශ තුළ (අක්වෙරළ) සකස්වීම සඳහා සිය සේවාදායකයන්ට නීති සේවා සපයන, විදේශගත කර්මාන්තයේ ඉහළම තලයේ සිටින සමාගමක් බව කියවුණි.
එහිදී, ඇපල්බයි සමාගමට අයත් ලිපිගොනු සහ කැරීබියානු බල ප්‍රදේශය තුළ ආයතිනක ලියාපදිංචිකිරීම්වලින් අදාළ ලිපිගොනු ලබාගැනීම සිදුකර තිබුණේ ජර්මනියේ Süddeutsche Zeitung පුවත්පත විසිනි. කෙසේ වෙතත්, එම තොරතුරු ලැබුණු මූලාශ්‍රය හෙළි නොකිරීමටද එම පුවත්පත කටයුතු කර තිබුණි.
මේ අතර, මෙම අනාවරණ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඇපල්බයි සමාගම පවසා ඇත්තේ සිය සමාගම හෝ එම සමාගමේ සේවාදායකයන් විසින් කිසිදු වරදක් කරන ලද බවට කිසිදු සාක්ෂියක් නොමැති බවට සෑහීමට පත්වන බවය. එමෙන්ම, නීති විරෝධී හැසිරීම් තම සමාගම නොඉවසන බවද ඔවුන් වැඩිදුරටත් පවසා තිබුණි.
මෙම විදේශගත මූල්‍ය කටයුතු (අක්වෙරළ) යනු ඉතා පහළ මට්ටමේ බදු අයකිරීම්වලින් වාසි ලබාගැනීම පිණිස සමාගම්වලට හෝ පුද්ගලයන්ට සිය වත්කම් හෝ ලාභ යොමු කළ හැකි, සිය රටේ නීති විධිවිධාන බල නොපවත්වන ස්ථානයක් ලෙස සැලකෙයි.
බදු පාරාදීසයන් හෝ බදු ක්ෂේමභූමි ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හැඳින්වෙන මෙම ස්ථාන, එම ක්ෂේත්රය හෝ කර්මාන්තය තුළ හැඳින්වෙන්නේ අක්වෙරළ මූල්‍ය මධ්‍යස්ථාන (Offshore Financial Centres -OFCs) යනුවෙනි. මෙවැනි මධ්‍යස්ථාන සාමාන්‍යයෙන් ස්ථාවර, රහසිගත සහ විශ්වාස කටයුතු ස්ථාන වන අතර, බොහෝ අවස්ථාවල එම ස්ථාන ඉතා කුඩා දූපත්වල පිහිටි රාජ්‍යයන්ය.
මේ අතර, මහා බ්‍රිතාන්‍යය යටතේ පාලනය වන බොහෝ ප්‍රදේශ සහ විදේශීය භූමි භාගයන් මෙම අක්වෙරළ මූල්‍ය මධ්‍යස්ථාන වී ඇති ආකාරයද පෙනීයන බව විදෙස් වාර්තා පවසයි. මෙම අක්වෙරළ මූල්‍ය කර්මාන්තයේ සේවය කරන නීතිවේදීන්, ගණකාධිකාරීවරුන් සහ බැංකුකරුවන් විශාල පිරිසක් ලන්ඩන් නුවර රැඳී සිටිමින් මෙහි ප්‍රධාන භූමිකාවක් හොබවන බවද කියැවේ.
කෙසේ වෙතත්, මෙම අක්වෙරළ මූල්‍ය මධ්‍යස්ථාන බොහෝවිට ධනවතුන් නොව, ධන කුවේරයන් බදු දැලින් නිදහස් කරන ක්‍රියාවලියක් ලෙස සැලකෙයි. ඒ මේ ක්‍රමවේදය සඳහා අවශ්‍ය වියදම් දැරීමට ඇ.ඩො.ලක්ෂ 5ක (රු.කෝටි7.5ක) පමණ වත්කමක් හිමිවීම පවා හිමිවීම ප්‍රමාණවත් නොවන බැවිනි.
අවසානයේදී මෙම සුපිරි ධනවතුන් තම රටවලට වංචා කරන බදු මුදල් නිසා ඒ අවාසියද දැරීමට සිදුවන්නේ බහුතරයක් වන දුගීන්ට බව සැබෑය.