ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ නිවසක වයස අවුරුදු දෙකත්, විසි නවයත් අතර පසුවන දරුවන් 13 දෙනෙකු විලංගු දමා නිවසේ අඳුරු කාමරයක සිරකරගෙන සිටි දෙමවුපිය යුවළක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ළමයින් අනතුරේ හෙළීම සහ වදහිංසාවට ලක් කිරීමේ චෝදනා යටතේ මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 57 හැවිරිදි ඩේවිඩ් ඇලන් ටර්පින් සහ 49 හැවිරිදි ඈන් ටර්පින් යුවළයි.
පොලීසිය විසින් බේරාගත් වයස අවුරුදු 02 සිට 29 දක්වා වූ සියලු දෙනා රැඳී සිටි නිවස ලොස් ඇන්ජලීස් නුවරට ගිණිකොණ දෙසින් කිලෝමීටර් 59ක් ඔබ්බෙන් වූ පෙරීස් නගරයේ පිහිටා තිබූ බව කියැවෙයි.
පොලීසිය දැනට තහවුරු කරගත් තොරතුරු අනුව මේ සියලු පිරිස මෙම යුවළගේම දරුවන්ය.
මේ දරුවන් අතර සිටි වයස අවුරුදු 10ක පමණ දැරියක සිය දෙමවුපියන් නොමැති අවස්ථාවකදී ඔවුන්ගේ ග්රහණයෙන් මිදී පොලීසිය වෙත ලබාදුන් හදිසි ඇමතුම් පණිවුඩයකට අනුව මෙම මෙහෙයුම් දියත් කර ඇති අතර, ඇය පවසා ඇත්තේ තමාගේ සහෝදර සහෝදරියන් සියලු දෙනා දෙමවුපියන් විසින් සිරකරගෙන සිටින බවයි.
පොලීසිය එම නිවසට යනවිට ඔවුන් අඳුරු හා දුර්ගන්ධය හමන අපිරිසිදු කාමරයක සිට ඇති අතර ඇතැම් දරුවන් ඇඳටම තබා විලංගු හා ඉබියතුරු දමා බැඳ තිබූ බවද කියැවෙයි.
ඔවුන් බොහෝදෙනා මන්දපෝෂණයෙන් පෙළී ඇති අතර, ඉතාම අපිරිසිදු ඇඳුම් හැඳ සිටි බවත්, මේ සිදුවීම දැකීමෙන් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පවා පුදුමයට පත්ව ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මේ සියලු දරුවන් මේ වනවිට රෝහල්ගතව ප්රතිකාර ලබන බව සඳහන්ය.