ජපානයේ තල්මස් දඩයම එක්සත් ජාතීන්ගේ අධිකරණ නියෝගයකින් තහනම් කළද, වාර්ෂිකව කෙරෙන තල්මසුන් දඩයම නැවත ආරම්භ කිරීමට දරන උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යන බව ජපාන අගමැති ෂින්සෝ අබේ පවසයි.
1986 වසරේ තල්මසුන් දඩයමට එරෙහිව ජාත්‍යන්තර තහනමක් පැනවූ නමුත් විද්‍යාත්මක පර්යේෂණ සඳහා පමණක් තල්මසුන් මැරීමට පසුව අවසර හිමිවිණි. නමුත්, මෙම අවසරය ජාත්‍යන්තර නීතියෙන් ගැලවීමේ උපාය මාර්ගයක් ලෙසට යොදා ගනිමින් ජපානය නොනවත්වා තල්මසුන් දඩයමේ යෙදී සිටියේය.
මෙම කාලය තුළ ජපානය තුළ තල්මස් දඩයම සිදුවන්නේ විද්‍යාත්මක කටයුතුවලට නොවන බවත්, එය සම්පූර්ණයෙන්ම වාණිජ පරමාර්ථයෙන් සිදුවන්නක් බවත් පරිසරවේදින් හා ක්‍රියාධරයන් පෙන්වා දුන්හ.
මේ තත්ත්වය තුළ ජපානයේ සිදුකෙරෙන තල්මසුන් දඩයම විද්‍යාත්මක පර්යේෂණ සඳහා නොවන බව හා එය සැඟවී කරන නීති විරෝධී තල්මසුන් වෙළෙඳාමක් බව අන්තර්ජාතික අධිකරණය පැවසීමත් සමග මේ වසරේ දී තල්මසුන් දඩයම නැවැත්වීමට ජපානයට සිදු විය.
කෙසේ වෙතත්, දැන් නැවතත් ජපාන අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ තල්මසුන් දඩයම පිළිබඳ අන්තර්ජාතික ප්‍රජාව දැනුවම්ත් කිරීමට ඔහු උත්සහ කරන බවය.
තල්මසුන් දඩයම ජපාන සංස්කෘතියේ අංගයක් බව පවසමින් ජපාන අගමැතිවරයා, නැවත වරක් සුපුරුදු පාපයට කර ගැසීමට අර අඳිමින් සිටියි.