මුහුණ වැසෙන ආකාරයේ ඇඳුම් පැළඳුම් භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන නීතියක් ඩෙන්මාර්කයේදී සම්මත වී තිබේ.
යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් කිහිපයකම මීට පෙර මෙවැනි නීතියක් සම්මත වූ අතර, එවැන්නක් එම කලාපය තුළ අලුතින් සම්මත වූ අවස්ථාව මෙසේ ඩෙන්මාර්කයෙන් වාර්තා වේ.
මෙම නීතිය මගින් මුස්ලිම් කාන්තාවන් ඉලක්ක කිරීමක් සඳහන් කර නොමැති වුවත්, එම කාන්තාවන්ට නිකාබ් හෝ බුර්කාවන්ගෙන් සැරසීම මෙම නීතියත් සමග වළක්වා තිබේ.
ඩෙන්මාර්ක පාර්ලිමේන්තුව තුළදී මෙම නීතියට පක්ෂව ඡන්ද 75ක් ලැබී තිබුණු අතර, ඊට විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 30ක් පමණි.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එය සම්මත වී ඇති අතර, ලබන අගෝස්තු මස 01 වැනිදා සිට නීතිය ක්‍රියාවට නැංවෙන බව ඩෙන්මාර්ක බලධාරීහු පවසති.
ඒ අනුව, කිසිවෙකු විසින් මෙම නීතිය උල්ලංඝනය කරමින් සම්පූර්ණයෙන් මුහුණ වැසෙන ආකාරයේ ඇඳුම් පැළඳුම් ඇඟලාගෙන සිටියොත් ප්‍රථම අවස්ථාවේදී ඇ.ඩො.157ක දඩයකට යටත් වනු ඇත. නමුත්, මෙය නැවත නැවත උල්ලංඝනය කරන්නනට දඩ මුදල දස ගුණයකින්, එනම් ඇ.ඩො.1,570ක දඩයකට යටත් වීමට සිදුවනු ඇත.
මුලින් සඳහන් කළ ආකාරයට මෙම නීතිය සම්පාදනය කිරීමේදී මුස්ලිම් කාන්තාවන් ඉලක්ක කර සඳහනක් කර නොතිබුණත්, කිසිවෙකු හෝ සම්පූර්ණයෙන් මුහුණ වැසෙන ආකාරයෙන් ඇඳුමකින් සැරසී පොදු ස්ථානයක ගැවසුණහොත් ඔහුට හෝ ඇයට එරෙහිව දඩයක් සහිත දඬුවමක් පැනවෙනු ඇත.
යුරෝපය පුරා මෑත කාලයේදී වාර්තා වූ ජිහාඩ් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියාවන්ද යුරෝපා සංගමයට අයත් රටවල මෙවැනි දැඩි නීතිරීති ගෙනඒමට බලපා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.