ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිර කාර්ය මණ්ඩල ලේකම්වරයා සිය හිටපු බිරින්ඳෑවරුන් දෙදෙනෙකුට හිංසා කරන ලදැයි කියන චෝදනාවක් හේතුවෙන් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ රොබ් පෝටර් මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ, ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා බවයි. කෙසේ වෙතත්, තමන්ට එරෙහිව චෝදනාවක් නැගෙන බැවින් තම ධුරයෙන් ඉල්ලා අස්වන බව හෙතෙම පවසා තිබේ.
මෙම සිද්ධිය මුලින්ම ඩේලිමේල් පුවත්පත විසින් අනාවරණය කර තිබුණු අතර, ඔහු හිටපු බිරින්ඳෑවරුන්ට ශාරීරිකව මෙන්ම මානසිකවද අඩන්තේට්ටම් කර ඇති බව එහි වාර්තා වී තිබුණි.
40 වැනි වියෙහි පසුවන පෝටර් සම්බන්ධ මේ වාර්තා පිළිබඳ ධවල මන්දිරය මෙතෙක් අදහස් දැක්වීමක් සිදුකර නොමැත.
ඇමෙරිකානු ජනාධිපතිවරයාට මෙන්ම, ඔහුගේ සහායකයන්ට එරෙහිව ඇමෙරිකානු හා ජාත්‍යන්තර මාධ්‍ය රැසක මේ වනවිට විවිධ අනාවරණය කිරීම් වාර්තා වන අතර, ජනපතිවරයා හා මාධ්‍ය අතර මේ වනවිට යම් ගැටීමක් පවතින බවද සඳහන් වෙයි.