ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකළ ප්‍රථම කොංග්රස් මණ්ඩල සහ සෙනෙට් මණ්ඩල ඇමතීම ඊයේ (01දා) සිදු කළේය. එහිදී විශේෂයෙන්ම සිය විධායක නියෝග, දේශසීමා අර්බුදය, ඇමෙරිකාවේ ආරක්ෂාව, ඔබාමාකෙයා වැඩසටහන, ඊශ්‍රායලය සමග සබඳතාව ඇතුළුව තවත් කරුණු රැසක් ගැනම ට්‍රම්ප් මෙම මණ්ඩල නියෝජිතයන් හමුවේ අදහස් දැක්වීය.
ජනපති ට්‍රම්ප් කොංග්රස් මණ්ඩලය වෙත පිළිගැනීම උප ජනාධිපති මයික් පෙන්ස් විසින් සිදු කරන ලදී. එසේම කොංග්රස් මණ්ඩලයේ කතානායක පෝල් රයන් සහ උප ජනපතිවරයා පසුපසේ තබාගනිමින් ට්‍රම්ප් සිය ඇමතීම සිදු කළේය.
පුරා පැයකට ආසන්න කාලයක් පැවැති සිය කතාව ආරම්භ කරමින් ඇමෙරිකානු සම්ප්රදාය අනුව ගෙවුණු පෙබරවාරි මාසය හැඳින්වෙන 'අඳුරු ඉතිහාස මාසයේ' අවසානය පිළිබඳව සඳහන් කළ ජනපති ට්‍රම්ප්, ඉදිරියේදී තවත් වැඩ රැසක්ම සිදු කිරිමට නියමිතව ඇතැයිද පවසා සිටියේය. එසේම ඇමෙරිකානු ජීවගුණය නැවතත් රැගෙන එන අවස්ථාවට මේ සහභාගිව සිටි සියලු දෙනාම සාක්ෂිකරුවන් බවට පත්ව සිටින බවත් ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව වර්තමානයේ ඇමෙරිකාව ගමන් කරන මාර්ගය පිළිබඳව විවේචනාත්මකව අදහස් දැක්වූ ට්‍රම්ප්, අනාගතය කවරාකාරවේදැයි යන්න පිළිබඳවද මෙහිදී කොංග්රස් සභාවේ සහ නැරඹුම් ආසනවල අසුන්ගෙන සිටි පිරිසගෙන් විමසා සිටියේය.
"තවත් අවුරුදු නවයකින් ඇමෙරිකා එක්සත් ජනපදය සිය නිදහස් ප්රකාශනයේ 250 වැනි සංවත්සරය සමරනවා. ඒත් අපි අපේ දරුවන්ට මොනවගේ රටක්ද ඉතිරි කරන්න යන්නේ. අපේ දේශසීමා විවෘත කරලා තියලා අපි ලෝකයේ වෙනත් රටවල දේශසීමා ආරක්ෂා කරන්න යනවා." ට්‍රම්ප් විමසීය.
"ආසන්න වසර කිහිපයේදී මැදපෙරදිග සිදුවුණු යුද්ධ සඳහා ඇමෙරිකාව ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 6ක් වැය කර තිබෙනවා. ඒ මුදල්වලින් අපිට අපේ රට දෙපාරක් නෙමෙයි, තුන්පාරක් වුණත් නැවත ගොඩනගන්න තිබුණා." ඔහු වැඩිදුරටත් පැවැසීය.
විශේෂයෙන්ම මේ අදහස් දැක්වීම් හරහා සිය සංක්‍රමණික තහනම තවදුරටත් ස්ථිර කිරීමට ට්‍රම්ප් උත්සාහයක නිරත විය. එහිදී ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාව හරහා තාප්පයක් ඉදිකිරීම සම්බන්ධයෙන්ද ඔහු සිය කරුණු දැක්වීය.
"අපේ රටට ඇතුළු වෙලා අපේ තරුණයන්ට විෂ පොවන මත්ද්‍රව්‍ය නවත්වන්න අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා ඉන්න තරුණයන්ව ඉන් මුදව ගන්න සිදුකරන ප්‍රතිකාරත් අපි ව්‍යාප්ත කරනවා" ට්‍රම්ප් අවධාරණයෙන් යුතුව පවසා සිටියේ දකුණුදිග දේශසීමාවේ ඉදිකරන මහා තාප්පය පිළිබඳව වන සිය ස්ථාවරය යළි යළිත් මතක් කරමිනි.
මේ අතරම මුස්ලිම් රාජ්‍යය කිහිපයක සංක්‍රමණිකයන්ට එරෙහිව ඔහු විසින් පනවා ඇති සීමා කිරීම තවදුරටත් ස්ථිර කළ ට්‍රම්ප්, ඇමෙරිකාවට පැමිණ සිටින සංක්‍රමණිකයන් නිසා ඇමෙරිකානු ජනතාවට සිදුවන හිරිහැරකිරීම් පැමිණිලි කළ හැකි ඒජන්සියක් පිහිටුවීමටද මෙහිදී කටයුතු යෙදීය. ඒ අනුව VOICE හෙවත් Victims of Immigration Crime Engagement නමින් ඔහු මෙය නම් කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මේ හරහා සංක්‍රමණිකයන් සම්බන්ධ වන අපරාධවල ලැයිස්තුවක් සෑම සතියකදීම නිකුත් කිරීම අරමුණ වී ඇත.
"අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදයෙන් අපේ ජාතිය ආරක්ෂා කරන බවට මෙය පොරොන්දුවක්. අපිට බැහැ ත්රස්තවාදයට ඇමෙරිකාවට ඇවිල්ලා ඕහේ ඉන්න දෙන්න." ට්‍රම්ප් පැවසීය.
මේ තත්ත්වයත් සමගම තමන් ඉදිරිපත් කර ඇති මේ සංක්‍රමණික සීමා පැනවීමට සහාය දක්වන ලෙස ට්‍රම්ප් සියලුම කොංග්රස් සහ සෙනෙට් සභිකයන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය. විශේෂයෙන්ම මෙවැනි පිරිස් සමගින් පැමිණෙන නුපුහුණු සංක්‍රමණික සේවකයන් නිසා ඇමෙරිකාවේ බදු ගෙවන ජනතාවගේ ඩොලර් බිලියන ගණනක් අපතේ යන බවත්, ඔවුන්ගේ වැටුප් සහ රැකියා අවස්ථා අහිමි වන බවත් ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
"ඇමෙරිකානුවන් මිලියන 94ක් ශ්රමබලකායෙන් ඈත්වෙලා. මිලියන 43කට වැඩි පිරිසක් යැපෙන්නේ ආහාර මුද්දර මත. ඒවගේම තමයි හොඳින් වැඩ කළ හැකි වයසේ පසුවන පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වැඩි පිරිසක් අද රැකියා නොමැතිව පසුවෙනවා"
මේ අතරම ඔබාමාගේ පාලන සමය තුළදී සිදු වුණු ණයගැති භාවය සම්බන්ධයෙන් චෝදනා කළ ට්‍රම්ප්, මීට පෙර පත්ව සිටි ජනපතිවරුන් ලබා ගත් ණය සියල්ලගේම එකතුවට ආසන්න ප්‍රමාණයක් ඔබාමා ණය වී ඇතැයිද කියා සිටියේය. එහිදී විශේෂයෙන්ම චීනය ලෝක වෙළෙඳ සංවිධානය හා එකතු වූ දිනයේ පටන් ඇමෙරිකාවේ ව්‍යාපාර 60,000 ක් වැසී ගොස් ඇතැයිද ට්‍රම්ප් මෙහිදී ස්ථිරව ප්‍රකාශ කළේය. එසේම ඔබාමාගේ සමයේ අභාග්යසම්පන්නව සිදුවුණු විදේශ ප්රතිපත්තිවල විනාශයද ඔහු මෙහිදී දක්වා සිටියේය.
හිටපු ජනපති ඔබාමා ඉදිරිපත් කළ ඔබාමාකෙයා සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ට්‍රම්ප්, එය අසාර්ථක බවත්, ඊට වඩා සාර්ථකව සෑම දෙනාටම ප්‍රතිඵලදායක වැඩසටහනක් ඉදිරිපත් කරන බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
මීට අමතරව කතාබහට ලක්ව ඇති ඊශ්‍රායලය සමග පවතින සබඳතාව සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ට්‍රම්ප්, එය තවදුරටත් නොසිඳෙන සබඳතාවක් බවට ශක්තිමත්ව පවතින්නක් බව කියා සිටියේය. එසේම ඇමෙරිකාව තුළ සිදුවන යුදෙව් විරෝධී ප්‍රහාර මෙන්ම පසුගියදා ඉන්දියානු ජාතිකයෙකු වෙඩි ප්‍රහාරයකින් මිය යාම ඇතුළු වර්ගවාදී ප්රහාරද ඔහු මෙහිදී හෙළා දැක්කේය.
කෙසේ වෙතත් පැයකට ආසන්න කාලයක් පැවැති මෙම කොංග්රස් ඇමතීමේදී රුසියාව සම්බන්ධයෙන් කිසිදු වචනයක් ට්‍රම්ප්ගේ මුවින් පිට නොවීමත් විශේෂත්වයක් ගත් බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම කොංග්රස් මණ්ඩල ඇමතීම ශ්‍රවනය සඳහා ඔහුගේ බිරිඳ වන මෙලෙනියා ට්‍රම්ප් සහ දියණිය ඉවන්කා ට්‍රම්ප් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ද සහභාගිව සිටින ආකාරයද විදෙස් මාධ්‍ය හරහා දැකගත හැකි විය.