ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් අතර පැවැත්වෙන ඒ ඓතිහාසික හමුව අද (12දා) පෙ.ව.9.00 ට සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේදී ආරම්භ වීමට නියමිතය.
බලයේ සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු සමග උතුරු කොරියානු නායකයෙකු ප්‍රථම වරට පවත්වන මුහුණට මුහුණ සාකච්ඡාව සඳහා ට්‍රම්ප් සහ කිම් හැරුණු විට ඔවුන්ගේ භාෂා පරිවර්ථකයන් පමණක් සහභාගී වනු ඇති බව ධවල මන්දිරය හා ප්යොන්ග්යැන්ග් පාලනය තහවුරු කර තිබේ.
එමෙන්ම, ප්‍රධාන සාකච්ඡාවෙන් අනතුරුව දෙරටේ සෙසු දූත පිරිස් සහභාගී වන සාකච්ඡාවන්ද පැවැත්වෙනු ඇති බවද සඳහන්ව තිබේ.
කෙසේ වෙතත්, මෙම සමුළුවට අදාළ න්‍යාය පත්‍රයේ තොරතුරු සුළු වශයෙන් නිකුත් කර ඇති අතර, සාකච්ඡා පැවැත්වෙන අතරතුර සෙසු කරුණු හෙළි කෙරෙනු ඇති බව කියැවෙයි.
මේ අතර, දෙරටේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයන් ඊයේ (11දා) සිංගප්පූරුවේදී රැස්වී සිය නායකයන් වෙත ඉදිරිපත් කිරීම සඳහා ගිවිසුමක් කෙටුම්පත් කර ඇති බවටද ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
හෙක්ටයාර 500ක පමණ විශාලත්වයකින් යුතු සමුළුව පැවැත්වෙන සෙන්තෝසා යනු, සිංගප්පූරුව නිර්මාණය වී ඇති දූපත් 63න් එකකි. සුඛෝපභෝගී හෝටල්, පෞද්ගලික වරාය සහ ගොල්ෆ් පිටිවලින් සමන්විත මෙම සෙන්තෝසා දූපත සිංගප්පූරු ප්‍රධාන දූපතට ආසන්නව පිහිටා තිබේ.
ලෝකයෙන් හුදකලා කරනලද රටක්ව තිබූ උතුරු කොරියාව ඇමෙරිකා එක්සත් ජනපදය සමග නව සබඳතා ගොඩනගා ගන්නා වඩාත් සුවිශේෂී මුල් පියවරක් ලෙසද මෙම ඓතිහාසික හමුව ඇතැම් මාධ්‍ය විසින් හඳුන්වා තිබේ.