මීට සතියකට පෙර උතුරු කොරියානු නායකයා සමග සාකච්ඡා පිළිබඳ සැක පළකළ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම තීරණය වෙනස් කරමින් සුපුරුදු පරිදි ජුනි 12දා කිම් ජොන්ග්-උන් සමග හමුව පැවැත්වෙන බව ස්ථිර කරයි.
නායක දෙපළ විසින් පවත්වන ඓතිහාසික හමුව සම්බන්ධ පූර්ව සාකච්ඡා සඳහා ධවල මන්දිරයට පැමිණි උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ජෙනරාල් කිම් යොන්ග්-චෝල් හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් මෙසේ සඳහන් කළේය.
එමෙන්ම, උතුරු කොරියානු නියෝජිතයා ජනපති කිම් ජොන්ග්-උන් විසින් ලබාදෙන ලද විශේෂ ලිපියද එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිළිගන්වා තිබේ.
මෙම මාධ්‍ය හමුවේදී ට්‍රම්ප් මුලින්ම එම ලිපිය වඩාත් ආකර්ෂණීය ලිපියක් බව කියා සිටියත් මාධ්‍ය හමුව අවසාන භාගයේදී පවසා සිටියේ තමන්ට ලිපිය තවමත් විවෘත කිරීමට නොහැකි වූ බවයි.
මේ අතර, කොරියානු යුද්ධයේ නිල අවසානය සම්බන්ධයෙන් වූ කතාබහද සිංගප්පූරුවේදී පැවැත්වෙන සාකච්ඡා මේසයට පැමිණෙනු ඇති බව ට්‍රම්ප් කීය.
1950 සිට 53 දක්වා පැවති කොරියානු යුද්ධය තාවකාලික යුද විරාමයකින් අවසන් වුවත්, සාම ගිවිසුමක් හෝ ප්රඥප්තියක් නොවීය.
"ජුනි 12දා අපි සිංගප්පූරුවේදී හමුවෙනවා. එය ඉතා හොඳින් පැවැත්වේවි." ධවල මන්දිරය ඉදිරිපිට මාධ්‍ය අමතා ට්‍රම්ප් පැවසුවේය.
"අපි දැන් ඔවුන්ගේ ජනතාව හොඳින් දැන හඳුනනවා" ඔහු වැඩිදුරටත් කීය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධ අවසන් තීරණයකට මෙම සමුළුවේදී නොපැමිණෙනු ඇති බවටද ට්‍රම්ප් ඉඟි පළ කළේය.
"මෙය එක් හමුවකට පමණක් සීමාවනු ඇති බව මා කවදාවත් කියන්නේ නෑ. මම හිතන්නෙ මෙය තවත් ඉදිරියට යයි. නමුත්, එකිනෙකා අතර අන්‍යෝන්‍ය සබඳතා ගොඩනැගෙනවා. එය වඩාත් ධනාත්මකයි."
බලයේ සිටින ඇමෙරිකානු නායකයෙකු හා උතුරු කොරියානු නායකයෙකු අතර ප්‍රථම වරට මුහුණට මුහුණ සිදුවන මෙම සාකච්ඡාව ඓතිහාසික හමුවක් වනු ඇත.
න්‍යෂ්ටික අවිහරණයකට උතුරු කොරියාව යන්නේ නම් එරට ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා ඇමෙරිකානු ආධාර ලබාදෙන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. යම්තාක් දුරකට න්යෂ්ටිකහරණයකට තමන් සූදානම් බව උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් පවසයි. නමුත්, ඔහුගේ අවසන් ඉල්ලීම් කුමක්ද යන්න තවමත් පැහැදිලි නොමැති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
පසුගිය සති දෙකක පමණ කාලය තුළ නායක දෙපළගේ හමුව පිළිබඳ පැවතියේ අවිනිශ්චිතතාවකි. එය මේ දක්වා මෙසේ දිගහැරුණි.
මැයි 16දා - තමන් මෙම හමුවෙන් ඉවත් වන බව උතුරු කොරියාව පවසයි. ඇමෙරිකාව වගවිභාගයකින් තොරව ඉදිරිපත් කරන නිවේදන හා හිතාමතා සිදුකරන දැඩි ප්‍රකාශ මේ සඳහා හේතුවක් බව උතුරු කොරියාව පවසයි.
මැයි 24දා - ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම හමුව අවලංගු කරයි. උතුරු කොරියාවෙන් දක්වන කෝප කිරීම් සහ විවෘතව පෙන්වන එදිරිවාදීකම් මීට හේතුව බව ට්‍රම්ප් කියයි.
මැයි 26දා - උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සහ දකුණු කොරියානු නායක මූන් ජේ-ඉන් අතර හදිසි හමුවක් හා සාකච්ඡාවක් පැවැත්වෙයි. දෙරටේ යුද මුක්ත කලාපය ලෙස සැලකෙන පැන්මුන්ජොම් නගරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙයි.
ජුනි 01දා - උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික ජෙනරාල් කිම් යොන්ග්-චෝල් විසින් උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් ලබාදුන් විශේෂ ලිපියක් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පෞද්ගලිකව භාරදීම සිදුවෙයි. නායක දෙපළගේ හමුව ජුනි 12දා ස්ථිර බව ට්‍රම්ප් කියයි.