බංග්ලාදේශයේ, ඩකා අගනුවරදී මිට වසරකට පෙර, ඊයේ වැනිම අප්‍රේල් 24 වැනිදාවක ඇඟලුම් සේවක සේවිකාවන් 1,129ක් බිලිගනිමින් කඩා වැටුණු රානා ප්ලාසා ඛේදවාචකය ලෝක ඉතිහාසයෙන් මකා දැමිය නොහැකිය. තට්ටු අටකින් යුතු ඒ ගොඩනැගිල්ලට යට වී පොඩි පට්ටම් වී ගිය ජීවිත මෙන්ම, ආශ්චර්යවත් ලෙස ජීවිතය බේරාගත්තවුන්ද කිසිසේත් අමතක කළ නොහැකිය. එදා ගොඩනැගිල්ලේ සිට දිවිගලවා ගත්තවුන් 2,500ක් පමණ සිටියද, ඉන් බහුතරය ඒ මහා අනතුර හේතුවෙන් අත්විඳි භෞතික මෙන්ම මානසික තුවාලයන්ගෙන් අදටත් කැකෑරෙමින් සිටින බව සැබෑය. මේ සටහන දිගැහැරෙන්නේ එවන් පිරිසක් වෙනුවෙන්මය.
මස්සාමාත් රෙබෙකා ඛාටූන් මීට වසරකට පෙර අඳුරු අතීතය සිහිපත් කරමින් කියා සිටින්නේ ඒ වේදනාව තවමත් අමතක කළ නොහැකි බවය. ඇය ඒ අනතුරින් පසුව දින දෙකක් සුන්බුන් අතර සිරවී සිටියාය. අද ඇයට එක් පාදයක් සම්පූර්ණයෙන් අහිමිය. තවත් පාදයක වළලුකරෙන් පහළ කොටස නැත. ඒ වේදනාව ඉවසාගත හැකි වුවද, රානා ප්ලාසා ඇයට අහිමි කළවුන් අතර ඇගේ මව මෙන්ම තවත් ඥාතීන් හතර දෙනෙකු සිටීම කෙසේ නම් ඈ වාවා ගනිම්ද?
ගොඩනැගිල්ල කඩා වැටී දින දෙකක් සුන්බුන් අතර සිර වී සිටින විට ඇය ආසන්නයේ මළ කඳන් විසිරී පැවති බව අද මෙන් ඇයට මතකය. දැන් දහවලද, දැන් රාත්රියද කියා ඇයට නිච්චියක් නොවීය. තමා සොයා මව පැමිණෙනු ඇතැයි එදා සිතුවද මව නොපැමිණි බව ඇය කියන්නීය. ඒ කඳුළු පිරි ඇගේ දෙනෙත පවසන්නේ තම මවගේ සිරුර කිසිවෙකුට සොයාගත නොහැකි වූ බවය.
අද ටකරන් මඩුවක් වැනි නිවසක ඇය ජීවත් වන්නේ සිය සැමියාගේ වාරුවට පින්සිදු වන්නටය. ඇය මේ වනවිට ශල්‍යකර්ම 8කට පමණ බඳුන් වී ඇත. කෘත්‍රිම පාද යුගලක් හිමිවුවද ඒවා ඇයට බර වැඩිය.
ඇය පවසන්නේ තමන් දවස පුරා මේ ටකරන් මඩුවට කොටු වී ඇති බවය. තමන්ට කොහේවත් යෑමට නොහැකි බව පවසන ඇය, හදිසියකටවත් නැගිට ගැනීමට නොහැකි තත්ත්වයක තවදුරටත් ජීවත් වන්නේ කෙසේද යන උභතෝකෝටිකය සමග ඔද්දල්වන බව පවසන්නීය.
ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පැය කිහිපයකට පමණ පසු බේරා ගැනුණු ස්රාබොන් අහ්මඩ් ජහන්ගර්ට නැවතත් ඇඟලුම් රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවක් නැත.
තම නිවස ආසන්න මාවතේ කුඩා තේ කඩයක් සාදාගෙන යළි ගොඩනැගීමට වෙර දරණ ඔහු පවසන්නේ ආදායමක් නොමැතිව දෙමවුපියන්ගේ පිහිටෙන් දැනට ජීවත්වන බවය.
රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ලබාදුන් සුළු මුදලකින් මේ ව්‍යාපාරය ආරම්භ කළ බව පවසන ඔහුට රජයෙන් හෝ විශාල පිළිසරණක් නැත්තේ, එදා අනතුරින් ඔහුට බරපතල අනතුරක් නොවූ නිසාය.
ඇඟලුම් කම්හලක මහන මැෂින්වල හඬ ඇසෙද්දී තමන් අදටත් භීතියට පත්වන බව පවසන්නේ ඔහුට වඩා ඔහුගේ දෑස්ය. එක්වර නැඟෙන මහත්වූ ශබ්දයකින් තමන්ට අදටත් පැන දිවීමට සිතෙන බව ඔහු පවසන්නේය. තමන් අද රැඳී සිටින ගොඩනැගිල්ලත් කඩා වැටුණොත් යන හැඟීමෙන් මේ වසර පුරාම ගතකළ බව පවසන ඔහු, නිදාගත් රාත්රීන්ට වඩා නිදි වර්ජිතව සිටි රාත්‍රීන් ගැන සිහිපත් කරන්නේ බියමුසු දෙනෙතින් යුතුවය.
නිව් වේව් කොලිටි ස්ටයිල් සමාගමේ තත්ත්ව පාලිකාවක් ලෙස අද සේවය කරන ඇය ෂර්මින් අක්ටර් ය. ඇයද මීට වසරකට පෙර රානා ප්ලාසා ගොඩනැගිල්ලේ ඛේදවාචකයෙන් දිවිගලවා ගත් තැනැත්තියක්ය. නමුත්, ඒ බිහිසුණු සිහිනය ඇගේ මව ඇගෙන් උදාරාගෙන අවසානය.
මේ වසර පුරාම තමන් ගතකළේ මව සොයමින් බව ඇය සිහිපත් කරන්නීය. තමා සමගම රානා ප්ලාසා හි සේවය කළ සිය මව සොයාගත හැකි ආකාරයක් හෝ තොරතුරක් ගැන ඇය විමසිලිමත් වීය. ඇගේ බලාපොරොත්තු කිසිවිටෙකත් අඩු නොවීය. අවසානයේ මීට මාස දෙකකට පෙර තම මව 173 දරණ සොහොන් ගැබ තුළ සිටින බව පමණක් ඇය දැනගත්තාය. නමුත්, දැන් තමන් මව සිටින තැන දන්නා බව පවසන විට ඇගේ මුහුණ අපේ දෙනෙතින් බොහෝ ඈතය.
කෙසේ වෙතත් මේ සියල්ල අවසානයේ ඇයට නැවතත් සුපුරුදු රැකියාව උරුම වී ඇත්තේ මහත් වූ වේදනාවක්ද සමගය. දෑතේ වෙනත් රැකියාවක් නොදන්නා නිසා මේ හැර කරන්නට දෙයක් නොමැති බව ඇය කියන්නීය. සුපුරුදු රැකියාවට පැමිණි පළමු දිනයේ මහන මැෂින්වලින් නැඟි දෝංකාරය සිත තුළ ඇති කළ බිය තවමත් ඇයට අමතක කළ නොහැකිය.
තමන් සේවය කරන අලුත් ඇඟලුම් කම්හලද කඩා වැටෙන ආකාරය ඇය සිහිනෙන් දුටුවේ තමන් පළමුව සේවයට පැමිණි දිනට පසුදිනය. දෙවියන් තමාව වරක් බේරාගත්තත්, තව කොතරම් කාලයක් දේවියන්ට තමාව බේරා ගැනීමට හැකිවේදැයි යන්න ඇය අපට ඉතිරි කළ ප්රශ්නය වීය.