ජර්මනියේ බවාරියා ප්‍රාන්තයේදී මගී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුව තිබූ දරුණු අනතුරින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජර්මානු මාධ්‍ය වාර්තා කරයි.
මියුනිච් නගරයට කිලෝමීටර් 60ක් පමණ ගිණිකොණදිගින් පිහිටි බෑඩ් අයිබ්ලින්ග් නගරය ආසන්නයේදී මෙම අනතුරු සිදුව තිබූ අතර, අනතුරින් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා, ඉන් අඩක් පමණ බරපතල තත්ත්වයේ පසුවන බවද කියවුණි.
එරට ප්‍රවාහන අමාත්‍යවරයා පවසන පරිදි මෙම අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය දෙකම පැයට කිලෝමීටර් 100ක පමණ වේගයකින් ගමන් කරමින් සිට ඇත.
අනතුරත් සමග දුම්රිය පිලි පැනීමකට ලක්ව, දුම්රිය පෙට්ටි පෙරලී ගොස් තිබූ අතර, ඒවායෙහි සිරවී සිටි මගීන් රෝහල්ගත කිරීමට සහන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරන ආකාරය දැකිය හැකිවිය.
මෙම අනතුරින් පසුව නිවේදනයක් නිකුත් කළ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් පවසා සිටියේ තමන් මෙම සිද්ධියෙන් බලවත් කම්පනයකට හා ශෝඛයකට පත්වූ බවය.
මියගිය පිරිස අතර දුම්රිය දෙකෙහිම රියදුරන් මෙන්ම, දුම්රිය නියාමකවරුන්ද වෙති.