ජපානයේ කිෂී දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස නම්කර සිටි ටාමා නමැති බළලා මියයෑමෙන් පසු ඒ වෙනුවට අලුතින් බළල් ස්ථානාධිපතිවරයෙකු පත්කර ඇති අපූරු පුවතක් වාර්තා වෙයි.
මීට පෙර මෙහි ස්ථානාධිපති ධුරය දැරූ ටාමා මියයෑමේ පුවත ජපානයේ දුම්රිය භාවිත කරනන්නන්ගේ හදවත්වල බොහෝ වේදනා ගෙනදුන් පුවතක් විය.
කෙසේ වෙතත්, ටාමාගේ මරණින් දින 50කට පසු කිෂී දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස පත්ව ඇත්තේ නිටාමා නමැති බැළලියකි.
තවත් බළල් අයදුම්කරුවන් කිහිප දෙනෙකු අතරින් ටාමාගේ තැන ගැනීමට නිමාටෝ සමත් වී ඇත.
මෙවැනි බළල් දුම්රිය ස්ථානාධිපති ධුරයක් ලබාගැනීම සඳහා ඔවුන්ට බළල් ස්ථානාධිපති පුහුණු පාසලේ උපාධියක් ලබාගත යුතු බවද කියැවෙයි.
මේ උපාධියේදී මිනිසුන් සමීපයේ බොහෝ නිසොල්මනේ කුළුපගව සිටීම මෙන්ම, දුම්රිය ස්ථානාධිපතිවරයෙකු මෙන් තොප්පියක් පැළඳ සිටීමටද මේ බළලුන්ට පුහුණුවක් ලැබෙන බව කියැවෙයි. එහිදී, දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ට සතුටක් ගෙනදෙන ලෙස හැසිරීම ඔවුන්ගේ කාර්යය වී තිබේ.
ටාමාට වඩා පෙනුමින් ලස්සන නිටාමා බැළලිය තම තනතුර ලබාගැනීම සඳහා මිනිසුන් මෙන් තම පෙනුම උපයෝගී කර නොගත් බවද විදෙස් මාධ්‍ය පවසයි.
මීට පෙර ඉඩාකිසෝ දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙසද කටයුතු කර ඇති නිටාමා, 2012 වසරේදී කිෂී දුම්රිය ස්ථානයේ නියෝජ්‍ය ස්ථානාධිපති ධුරයට පත්ව සුදුසුකම් සපුරා එම තනතුරට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය හුවා දක්වයි.
එහිදී, ටාමා යටතේ සිටීමෙන් උගත් බොහෝ දේ මේ උසස් වීම ලැබීමට නිටාමාට හේතුවක් වූ බවද කියැවෙයි.
මෙසේ බළලුන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ලෙස පත්කිරීමට කටයුතු කර ඇත්තේ, අදාළ දුම්රිය පද්ධතිය වෙත ඉහළ මගී ආකාර්ෂණයක් ලබාගැනීම සඳහාය.