තම සන්නද්ධ හමුදා යොදාගැනීමේදී වැඩි නිදහසක් එරට බලධාරීන්ට ලැබෙන පරිදි ජපාන ව්‍යවස්ථාව වෙනස් කිරීමේ සැලසුමට ජපාන කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඇමෙරිකාව ප්රමුඛ තම මිත්‍ර පාර්ශ්වයේ රටකට හමුදා සහාය ලබාදීමට ජපානයට හැකියාව හිමි වී ඇති බව කියැවෙයි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇති කර ගෙන තිබූ ව්‍යවස්ථාවට අනුව ජපාන යුධ හමුදාවට සන්නද්ධ බලය යොදා ගැනීමේ හැකියාව තිබුණේ තම රටට අනතුරක් සිදු වන අවස්ථාවකදී පමණි.
කෙසේ වෙතත් මෙම සංශෝධනය ජපාන පාර්ලිමේන්තුව තුළ සම්මත විය යුතු අතර, මේ වනවිටත් ඊට චීනයේ විරෝධය එල්ල වී ඇති බවද කියැවෙයි.
ජපාන අගමැතිවරයා ගෙන ඇති මෙම පියවරට විරෝධය පාමින් පුද්ගලයකු සිය සිරුරට ගිනි තබාගත් සිද්ධියක්ද මීට දින කිහිපයකට පෙර ටෝකියෝ නුවරින් වාර්තා වූ බව විදෙස් පුවත් සේවා වැඩිදුරටත් පෙන්වා දෙයි.