සැම්බියා ජනපති එඩ්ගාර් ලුන්ගූස්ගේ ජයග්‍රහනයට විරෝධය පාමින් ඔහුගේ පාර්ලිමේන්තු කතාවක් වර්ජනය කළ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් 48 දෙනෙකුගේ මන්ත්‍රී ධුර තාවකාලිකව අත්හිටුවා තිබේ.
පසුගිය වසරේ අගෝස්තු 11 වැනිදා පැවති ජනාධිපතිවරණයේ නියම ජයග්‍රාහකයා ලුන්ගූස් නොවන බව පවසමින් ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මෙසේ ඔහුගේ කතාව වර්ජනය කර තිබුණි. එම මැතිවරණයේදී ලුන්ගූස් ජය ලබා තිබුණේ ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රතිශතයකිනි.
කෙසේ වෙතත්, සැම්බියා පාර්ලිමේන්තුවේ කතානායකවරයා පවසන්නේ තම රටේ නායකයා ලෙස වත්මන් ජනාධිපතිවරයා පිළිගැනීමට මෙම මන්ත්‍රීවරු පිරිස අපොහොසත් වන්නේ නම්, ඔවුන් සිය මන්ත්‍රීධුරවලින් ඉවත්විය යුතු බවයි.
"නීත්‍යනුකූල ඡන්දයකින් පත්වූ රජයක් නොපවතින බව ඔබ පිළිගන්නේ නම්, සදාචාරාත්මක ලෙස ඔබේ මන්ත්‍රීධුරවලින් ඉවත්වන ලෙස මා ඔබට අභියෝග කරනවා" යැයි කථානායක පැට්රික් මටිබිනී උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය පවසයි.
"ඒ වගේම, මා මගේ බලය පාවිච්චි කරමින්, ඔබ මන්ත්‍රීවරු 48 දෙනාගේ පාර්ලිමේන්තු සේවාව අද සිට දින 30ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරනු ලැබුවා" යැයි කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
කථානායකවරයාට අනුව, මෙම මන්ත්‍රීවරුන්ට එම කාල සීමාවේදී නියමිත මන්ත්‍රී වැටුපද හිමි නොවන අතර, ඔවුන්ට පාර්ලිමේන්තුවට ඇතුළු වීම හෝ එහි රැඳී සිටීමටද මෙම කාලය තුළ කිසිදු අවසරයක් හිමි නොවෙයි.
එමෙන්ම, පාර්ලිමේන්තුවට අපහාස කිරීම සම්බන්ධයෙන් UPND පක්ෂයේ නායක හකයින්ඩේ හිචිලේමා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසද කථානායකවරයා පොලීසියට උපදෙස් ලබාදී තිබේ.
සැම්බියාවේ වත්මන් රජය හා විරුද්ධ පක්ෂය අතර පවතින නොනවතින අරගලයේ උච්ඡතම අවස්ථාවක් ලෙස මෙම සිදුවීම සඳහන් කළ හැකි බව ප්‍රංශ පුවත් සේවය වැඩිදුරටත් පවසයි.
කථානායක පැට්රික් මටිබිනී
ජනපති එඩ්ගාර් ලුන්ගූස්
විරුද්ධ පක්ෂ නායක හකයින්ඩේ හිචිලේමා