ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා ලබමින් අධිකරණය හමුවේ අද (13දා) පෙනී සිටි ඉන්දුනීසියාවේ, ජකාර්තා ආණ්ඩුකාරවරයා කඳුළු සලමින් තම නිර්දෝෂීභාවය කියා සිටි බව බී.බී.සි.ය පවසයි.
වසර 50ක ඉතිහාසය තුළ ඉන්දුනීසියානු අගනගරයේ මුස්ලිම් ජාතිකයෙකු නොවන ප්‍රථම ආණ්ඩුකාරවරයා ලෙස තේරීපත්වූ බසුකි ජහාජා පූර්නමා හෙවත් අහොක් තමා වෙනුවෙන් එල්ල කරන සියලු චෝදනාවලට තමන් නිවැරදිකරු බව පුන පුනා පවසන විට වඩාත් හැඟුම්බර මොහොතක් අධිකරණය තුළ පැවති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම, මෙම නඩු විභාගය ලොව විශාලතම මුස්ලිම් රාජ්‍ය තුළ පවතින ආගමික ඉවසීම පරීක්ෂණයට බඳුන්කරන අවස්ථාවක් ලෙසද බී.බී.සී.ය හඳුන්වා දෙයි.
මෙම නඩු විභාගයෙන් ආණ්ඩුකාරවරයා වැරදිකරු වුවහොත් ඔහුට උපරිම වශයෙන් වසර පහක සිරදඬුවමක් නියම කළ හැකි අතර, මෙම නඩු තීන්දුව කෙරෙහි අන්තවාදීන්ගේ බලපෑමක් එල්ල විය හැකි බවටද එරට ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධානය පවසා තිබේ. අද පැවති නඩු විභාගය සුළු වේලාවක් විභාගයට ගැනීමෙන් අනතුරුව දෙසැම්බර් 20 දක්වා කල්දමා තිබුණි.
ආණ්ඩුකාරවරයා බලයෙන් පහ කළ යුතු බවට එරට තුළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවති අතර, අන්තවාදීන්ගෙන් සැදුම්ලත් විරෝධතාකරුවන් පොලීසිය සමග ගැටුම් ඇතිකර ගත් බවද විදෙස් වාර්තා මීට පෙර වාර්තා කර තිබුණි.