(UPDATE) ඇමෙරිකාව වෙත පැමිණි චීන ජනපති ෂි ජින්පිං මහත් හරසරින් යුතුව පිළිගැනීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
ෆ්ලොරීඩා හි පැවැත්වෙන ද්වීපාර්ශ්වික සාකච්ඡා දෙරට අතර මිත්‍රත්වය වර්ධනය වන අවස්ථාවක් බව ජනපති ආර්යාවන්ද ප්රමුඛව මාර්-අ-ලාගෝ රිසෝට් හිදී රාත්‍රී භෝජනය ගනිමින් ට්‍රම්ප් පවසා සිටියේය.
මෙම සාකච්ඡාවලදී උතුරු කොරියානු අර්බුදයද විශේෂයෙන් සැලකිල්ලට බඳුන්වනු ඇති අතර, ඊට එරෙහිව පියවර ගැනීම සඳහා චීනය උනන්දු කරවීමද මෙම සාකච්ඡාවේදී ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රයට ඇතුළත් බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම හමුව අතිශය තීරණාත්මක මෙන්ම දුෂ්කරතා මැද ජයගත යුතු අවබෝධතා රැසක් පවතින හමුවක් බවද ට්‍රම්ප් පවසා තිබුණේ, මීට වසරකට පෙර චීනය විසින් ඇමෙරිකාව දූෂණයට ලක්කරන බවට ඔහු විසින්ම සිදුකළ ප්‍රකාශයක් සිහිවීමෙන් විය හැකිය.
22.15pm - චීන නායකයා පිළිගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානමින්
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන නායක ෂී ජිංපින්ග් සමග සිය ප්‍රථම හමුවට සූදානමින් සිටියි.
ලෝකයේ ප්රබලතම ආර්ථිකයන්ට හිමි රාජ්‍යයන් ද්විත්වයෙහි රාජ්‍ය නායක දෙපළ ෆ්ලොරීඩා හි මාර්-අ-ආගෝ හිදී ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිතය.
උතුරු කොරියාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට සිය උතුරු කොරියානු මිත්‍රයා උනන්දු කිරීමටද මෙහිදී ඇමෙරිකානු නායකයා සූදානමින් සිටින බව වාර්තා වෙයි.
මේ අතර, චීන නායකයා තායිවානය සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් සහතිකයක් ලබාගැනීමද මෙම සාකච්ඡාවල අරමුණු අතර පවතිනු ඇති බව කියැවෙයි.
චීන නායකයා හා ආර්යාව ට්‍රම්ප්ට අයත් පාම් බීච් රිසොට් හිදී සුවිශේෂී භෝජන සංග්‍රහයකටද සහභාගී වීමට නියමිත අතර, බ්‍රහස්පතින්දා සිදුවන මෙම හමුවට ට්‍රම්ප් හා ආර්යා මෙලනියාද සහභාගි වනු ඇත.