උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන්ගේ සහෝදරයා (අර්ධ) වන පසුගියදා මැලේසියාවේදී ඝාතනයට ලක්වූ කිම් ජෝන්ග්-නැම්ගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය සඳුදා දිනයේදී ඝාතනය ලක්වූ නැම්, මැලේසියාවේ ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේදී විෂ ශරීරගත කරවීමකින් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එක් කාන්තාවක අද (16දා) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත අතර, තවත් කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගත් බව මැලේසියානු පොලීසිය පවසයි.
මෙම මරණය පසුපස උතුරු කොරියාව සිටින බවට විවිධ පුවත් වාර්තා වූ අතර, දකුණු කොරියාව විසින් එය සෘජුවම උතුරු කොරියාවේ පොකට්ටුවට දැමීමට උත්සාහ කළේය. නමුත්, එවැන්නක් තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැත.
මියගිය පුද්ගලයා කිම් චොල් යන නාමයෙන් යුතු ගුවන් ගමන් බලපත්රයක් සමග සංචාරය කරමින් සිටියදී මෙසේ මරණයට පත්ව තිබූ අතර, ඔහු උතුරු කොරියානු නායකයාගේ සහෝදරයා ලෙස මැලේසියාව මේ දක්වා නිල වශයෙන් තහවුරු නොකිරීමද විශේෂත්වයකි.
එමෙන්ම, පශ්චාත් මරණ පරීක්ෂණයේ තොරතුරු ප්රසිද්ධ කරනු ඇති බවට මැලේසියානු බලධාරීන්ගෙන් කිසිදු ඉඟියක් පළ නොවන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
කිම් ජොන්ග්-නැම් නැසීගිය උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-ඉල්ගේ පළමු විවාහයේ පුත්රයෙකු වෙයි. සිය පියාගේ අභාවයත් සමග ඔහු උතුරු කොරියාව අත්හැර මකාවු වෙත පැමිණියේය.