ගෝතමාලාවේ සිදුවූ ගිනි කඳු විදාරණය සම්බන්ධයෙන් එරට හදිසි ප්‍රතිචාර ඒජන්සි ක්‍රියාකළ ආකාරය විරුද්ධ පක්ෂ දේශපාලඥයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වෙමින් තිබේ.
ෆ්යුගෝ ගිනි කන්ද පසුගිය ඉරිදා විදාරණය වීමට පෙර නිසි පෙර දැනුම්දීමක් සිදුකරමින් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට ඔවුන් අපොහොසත් වූ බවට මෙම චෝදනා නැඟෙයි.
එරට විරුද්ධ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වන මාරිඕ ටාරාසීනා පවසා සිටියේ මෙය නොසලකා හැරි අපරාධයක්දැයි යන්න පිළිබඳ රජය විසින් පරීක්ෂණයක් සිදුකර අපරාධකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවයි.
මෙම ගිනි කඳු විදාරණයෙන් මේ වනවිට නිල වශයෙන් ගණන් බලා ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 99ක් වන අතර, තවමත්, 200කට ආසන්න පිරිසක් අතුරුදන්ව සිටිති. එමෙන්ම, මින් තුවාල ලැබූ සැලකිය යුතු පිරිසක්ද වෙති.
යමහල් අළු සහ මඩවලින් ගිනි කන්ද ආශ්රිත පහත් ගම්බිම් රැසක් යට වී ඇති අතර, ඉදිරියේදී තවදුරටත් ගිනි කන්ද ආශ්රිත පිපිරීම් බලාපොරොත්තු විය හැකි බවටද අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.
මේ හේතුව නිසා මුදාගැනීමේ කටයුතු අතිශය අවදානම් තත්ත්වයක් යටතේ, තරමක් මන්දගාමී ස්වරූපයකින් සිදුකිරීමට ආරක්ෂක අංශවලට සිදුව තිබේ.