ගෝතමාලාවේ පසුගිය ඉරිදා ඇති වූ ගිනි කඳු විදාරණයත් සමග අතුරුදන් වූ මිනිසුන් සොයා එරට හමුදාව සහ ගිනි නිවන හමුදාව දැවැන්ත මෙහෙයුමක් අරඹා තිබේ.
ෆ්යුගෝ ගිනි කන්ද විදාරණයත් සමග නොකඩවා වෑහෙන ගිනියම් වූ පාෂාණ, අළු සහ මඩ සමග ගම්මාන රැසක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මේ වනවිට ගිනි කන්ද විදාරණය වීම හේතුවෙන් මියගිය බවට හඳුනාගත් පිරිස 62 දක්වා ඉහළ ගොස් ඇති බවද ගෝතමාලා බලධාරීහු පවසති.
එහිදී, නිවාස හා ගේ දොර අහිමි වීමෙන් අවතැන් වූ දහස් ගණනක පිරිස තාවකාලික කූඩාරම් තුළ රඳවා සිටින බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ගිනි කන්ද විදාරණයත් සමග කිලෝමීටර් දහයක් පමණ ඉහළ අහසට යමහල් විසිරී ඇති බවද සඳහන් වේ. කෙසේ වෙතත්, මේ වනවිට ගිනි කන්දේ පිපිරීම නැවතී ඇති බැවින් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් සිදුවෙයි.
1974 වසරින් පසුව මෙම ගිනි කන්ද ආශ්රිතව ඇති වූ දරුණුතම විදාරණය මෙය ලෙසද සැලකෙයි.