'ඉක්මණට ඇයව රැගෙන යන්න' ජනතාව කෑ මොර දෙන්නට විය. ඒ නේපාල භූ කම්පනයෙන් දරුණු බලපෑමකට ලක්වූ ප්‍රදේශයකදී හමුවූ තරුණ මවක් වහාම හෙලිකොප්ටරය වෙත පටවාගනු ලැබීය.
සී.එන්.එන්. පුවත් සේවයේ සන්ජේ ගුප්තා ඇතුළු කණ්ඩායමද මෙම හෙලිකොප්ටරයට ගොඩවීය.
භූ කම්පනයෙන් බරපතල තුවාල ලබා සිටි ඇයගේ නම සබිනා ලාමා ය. 18 හැවිරිදි සබීනා කිසිදු හැලහොල්මනක් නොදැක්වූ බැවින් හා යානයේ සෞඛ්‍ය සේවකයන් නොසිටි බැවින් ගුප්තා ඇය පරීක්ෂා කරන්නට විය. ඇගේ නාඩි වැටීම ක්‍රමයෙන් අඩාල වන බව ඔහුට වැටහුණි. ඇය හුස්ම නොගන්නා බව ඔහුට පෙනුණි.
නමුත්, හදිසි ප්‍රතිකාරයක් ලබාදීම සඳහා කිසිදු වෛද්‍ය උපකරණයක් එහි නොවීය. තවත් සිතා බැලීමට කල්යල් නොමැති බැවින්, ඇගේ ශ්වසනය යථාතත්ත්වයට ගැනීම සඳහා ගුප්තා වේගයෙන් ඇගේ පපුව හරහා ප්‍රහාරයක් එල්ල කළේය.
එය බලවත් ප්‍රහාරයක් වුවත්, ඇය ජීවත් කරවීම ඔහුගේ ඒකායන අරමුණ විය. ක්ෂණයෙන් ඇය නැවත හුස්ම ගන්නා ආකාරය ඔහුට පෙනන්නට විය. ඔහු ප්රමුඛ සී.එන්.එන්. පිරිස මහත් අස්වැසිල්ලක් ලැබීය.
මාස 6ක් වයසැති තම සිඟිති දරුවා රෝහලට රැගෙන පැමිණි අවස්ථාවේදී සබීනා මෙසේ භූ කම්පනයට ගොදුරු වී තිබුණි. ඉන් ඇගේ දෙපාවලට බලවත් හානි සිදුව තිබූ අතර, ඇගේ දරුවාද අතුරුදන් වී තිබුණි. කෙසේ වෙතත්, පසුව දරුවා නිරුපද්‍රිතව සිටි අතර, සිඟිත්තා ඇගේ ස්වාමියා අතට පත්ව තිබුණි.
මේ පසුගියදා නේපාලයට බලපෑ රික්ටර් පරිමාණ 7.8ක ප්‍රබල භූ කම්පනයේ එක් අනුවේදනීය කතාවක සංක්ෂිප්තයක් පමණි. මෙවැනි අනුවේදනීය කතා රැසක් ඒ භූ තල ගැටීම තුළ මහත් කම්පනයකට ලක්කර තිබුණි.