ඉන්දුනීසියානු ගිනිකන්දක් පිපිරී යාමෙන් ඇතිවූ යමහල් අළු මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් විසිරී යාම නිසා ඔස්ට්‍රේලියානු ගුවන් සමාගම් මෙතෙක් අත්හිටුවා තිබූ සිය ගමන්වාර නැවත අරඹා ඇති බව කියයි.
ඒ අනුව, ඩාර්වින් අන්තර්ජාතික ගුවන් තොටුපොළේ කටයුතු ආරම්භ වී ඇති අතර, සාමාන්‍ය පරිදි ගුවන් යානා පැමිණීම හා පිටවීම සිදු වූ බව වාර්තා වෙයි.
ඉන්දුනීසියාවේ සැන්ගියෑන්ග් ආපී ගිනි කන්දෙන් තවදුරටත් දුම් වළාවන් නැගුණද, ඒවා ගිනිකන්ද විදාරණයත් සමග ඇතිවූ දුම් වළාවන් තරම් ප්‍රබල නොවූ බව කියැවෙයි.
කෙසේ වෙතත්, ඉදිරියේදී ගුවන් ගමන්වලට ඇතිවිය හැකි බාධාවන් තවමත් සම්පූර්ණයෙන් ඉවත් කර නොමැති බවද වාර්තා වෙයි.
පසුගිය සිකුරාදා ගිනි කන්ද විදාරණය වීමත් සමග බාලි ගුවන් තොටුපොළේ ගුවන් ගමන් වෙතද බාධා එල්ල විය.
මේ තත්ත්වය සමග දහස් ගණන් ගුවන් මගීන් දැඩි පීඩාවකට පත්වූයේ බොහෝ ගුවන් වාර අවලංගු කිරීමට ගුවන් සමාගම් කටයුතු කළ නිසාය.
කෙසේ වෙතත් මේ වනවිට එසේ සිය ගුවන් ගමන් අවලංගු කළ ක්වන්ටස්, ජෙට්ස්ටාර් සහ වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සමාගම් නැවතත් සිය ගුවන් ගමන් ආරම්භ කර ඇති බව නිවේදනය කර තිබේ.