ප්‍රචණ්ඩක්‍රියා ඇති කිරීමට කටයුතු කිරීම හා විරෝධතාකරුවන්ට එරෙහිව අධික බලයක් පාවිච්චි කිරීම හේතුවෙන් යුක්රේනයට එරෙහිව සම්බාධක පැනවීමට යුරෝපා සංගමය එකඟ වී තිබේ.
නිවේදනයක් නිකුත් කරන යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරු පෙන්වා දෙන්නේ වත්කම් අවුරාලීම හා වීසා ලබානොදීම ආදී වූ සම්බාධකයන් ඉතා කඩිනමින් යුක්රේනයට එරෙහිව පැනවෙන බවයි.
ඊයේ (20දා) වනවිට යුක්රේනයේ කියෙව් අගනුවර ගැටුම් හේතුවෙන් 75කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් වැඩි පිරිසක් ස්නයිපර් ප්රහාරයන්ට ලක්ව ඇති බව වාර්තා වෙයි. මියගිය පිරිස අතර සාමාන්‍ය වැසියන් මෙන්ම පොලිස් නිලධාරීන්ද සිටින බව කියැවෙයි.
ජීවිත හානි පිළිබඳ එසේ වාර්තා වෙද්දී, යුක්රේන සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පසුගිය දින තුන තුළ සිදුවූ ගැටුම් හේතුවෙන් 571 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.
මේ අතර යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ උද්ඝෝෂකයන් විසින් පොලිස් නිලධාරීන් 67 දෙනෙකු අල්ලාගෙන ඇති බවයි. කෙසේ වෙතත් මොවුන්ගෙන් වැඩි පිරිසක් පසුව නිදහස් කර ඇති බවද වාර්තා වෙයි.
ගැටුම් තත්ත්වය තවමත් පහව ගොස් නැති අතර, පොලීසියෙන් කුමන මොහොතක හෝ එල්ලවිය හැකි ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් උද්ඝෝෂකයන් කඳවුරු බැඳගෙන සිටින බව කියෙව් අගනුවරින් වාර්තා වෙයි.