ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ අවසානයත් සමග මේ වනවිට එරට ඛනිජතෙල් අපනයන කටයුතු සන්නද්ධ කැරලිකරුවන් අතට පත්ව ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, උතුරු කොරියානු කොඩිය සහිත තෙල් නෞකාවක් වෙත සිදුකෙරෙන සැපයුම් සමග සිය ප්‍රථම තෙල් අපනයන කටයුතු ආරම්භ කිරීමට පියවර ගත් බව ලිබියානු වරාය කීපයක් තම පාලනය යටතට ගෙන සිටින සන්නද්ධ කැරලිකරුවෝ පවසති.
නැගෙනහිර ලිබියාවේ වරායක පාලනය සියතට ගෙන සිටින කැරලිකාර සංවිධානයක ප්‍රකාශකයෙක් බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් මෙය අනාවරණය කර තිබේ.
කෙසේ වෙතත්, ලිබියානු අගමැතිවරයා අනතුරු ඇඟවීමක් කරමින් පවසා ඇත්තේ උතුරු කොරියානු කොඩිය සහිත නෞකාව කැරලිකරුවන් පාලනය කරන වරායකින් තෙල් අපනයනය කිරීමට සැරසුණහොත් එම නෞකාව වෙත බෝම්බ හෙලන බවය.
‘මෝර්නින් ග්ලෝරි’ නම් නෞකාව බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පාලනය කරනු ලබන ‘සිදර්’ වරායේ නතර කර ඇති බව ලිබියාවේ ඛනිජ තෙල් භාර නියෝජ්‍ය ඇමතිවරයා විසින්ද තහවුරු කර තිබේ. නමුදු එම නෞකාව ‘පියොන්ග් යැන්ග්’ පාලනයට සම්බන්ධ යාත්‍රාවක් නොවන බවද කියැවෙයි.
කෙසේ වෙතත් මෙම කැරලිකරුවන්ගේ ක්‍රියාදාමය මුහුදු කොල්ලයක් බව ලිබියානු බලධාරීහු පෙන්වා දෙති.
මේ වනවිට රට පුරා තෙල් නිධි සහ වරායයන් සන්නද්ධ කණ්ඩායම් විසින් අල්ලාගෙන ඇති බවත්, වර්ජන නිසා ලිබියානු ආණ්ඩුවේ තෙල් අපනයන ප්රයත්නයට අවහිරයක් එල්ල වී ඇති කියැවෙයි.