කොරියන් එයාර් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරිනියට දකුණු කොරියානු අධිකරණය විසින් වසරක සිරදඬුවමක් නියම කර ඇති අතර, තමා වෙත රටකජු ලබාදුන් ආකාරය පිළිබඳ නොසතුටට පත්වී ගුවන් යානය ප්‍රමාද කළේ යැයි කියන චෝදනාව ඇයට විරුද්ධව එල්ල වී තිබේ.
දකුණු කොරියානු ගුවන් සේවයේ ප්‍රධානියාගේ දියණිය වන චෝ හියුන්ට මෙසේ සිරදඬුවම නියම කරනු ලැබුවේ ගුවන් සේවා ආරක්ෂාව පිළිබඳ නීති කඩ කිරීම, සේවකයෙකුට පහර දීම, ගුවන් සේවාව සිය පෞද්ගලික දේපළක් වශයෙන් සැළකීම සහ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ වැඩකටයුතුවලට බාධා කිරීම යන චෝදනා සැලකීමට ගැනීමෙන් පසුවය.
චෝ මෙනෙවිය රටකජු පිළිගැන්වූ විට එය කුඩා පිඟානකට නොබෙදා බහාලුම් කවරයක ලබාදීම පිළිබඳව උරණ වී ගුවන් යානය නිව්යෝක් හි ජෝන් එෆ් කෙනඩි ගුවන් පථයේ ආපසු රැගෙන යන ලෙස පවසා ඇති අතර ඒ මොහොතේම ගුවන් සේවකයා සේවයෙන් පහකර දමා ගුවන් තොටුපලේ අත්හැර දමා ගොස් ඇති බවද පැවසෙයි.
කෙසේ වෙතත්, පසුගිය වසරේ දෙසැම්බර් 5 වැනිදා සිදුවූ එම සිදුවීමෙන් පසු හෙදර් චෝ නමින්ද හැඳින්වෙන චෝ මෙනෙවිය කාර්යය මණ්ඩලයෙන් සහ මාධ්‍ය ඔස්සේ ජනතාවගෙන්ද ලිපියක් මගින් අධිකරණයෙන් සමාව ඉල්ලා ප්‍රකාශ නිකුත් කළ අතර ඇය දරමින් සිටි ගුවන් සේවා විධායක තනතුරින් ද ඉල්ලා අස් විය.
කොරියන් එයාර් සභාපතිගේ චෝ පවුලට අයත් හන්ජින් ගෘප් සහ කොරියන් එයාර් සමාගම් දකුණු කොරියාවේ ව්‍යාපාරික ලෝකයේ ආධිපත්‍ය පවත්වා ගෙන යන පවුලක් වන අතර මෙම නඩු තීන්දුව පැවති ආධිපත්‍යට අභියෝගයක් මෙන්ම විශාල වෙනසක් ඇති කිරීමට සමත් තීරණයක් බව විචාරකයෝ පවසති.