කොංගෝ ජනරජයේ සිර කඳවුරක් වෙත එල්ල වූ ත්රස්ත ප්රහාරයකින් එහි සිටි රැඳවූවන් 930 දෙනෙකු පැනගොස්, තවත් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කොංගෝවේ ඊසානදිග නගරයක් වූ බෙනී හි සිර කඳවුරක් වෙත මෙම ප්රහාරය එල්ල වූ බව පළාත් ආණ්ඩුකාර ජූලියන් පලූකූ පවසයි. ඔහුට අනුව සිර කඳවුරේ සිටි රැඳවූවන් 966 දෙනාගෙන් මේ වනවිට ඉතිරිව සිටින්නේ 36 දෙනෙකු පමණි. ප්රහාරයෙන් මියගිය පුද්ගලයන් අතර සිර කඳවුරේ ආරක්ෂකයන් 08 දෙනෙකුද සිටින බව හෙතෙම පවසයි.
සිර කඳවුරේ ආරක්ෂකයන් දුර්වල කිරීම සඳහා ත්රස්තයන් බර අවි යොදාගෙන මෙම ප්රහාරය දියත් කර ඇති අතර, ප්රහාරය සිදුකළ ත්රස්ත සංවිධානය තවම හඳුනාගෙන නොමැති බවත්, මෙවැනි ආයුද සන්නද්ධ කණ්ඩායම් කිහිපයක්ම කොංගෝවේ ක්රියාත්මක වීම ඊට හේතුව බවත් කියැවෙයි.
කෙසේ වෙතත්, මේ වනවිට පළාතේ ඇඳිරි නීතිය සමග ආරක්ෂාව තර කිරීමට යුද හමුදා යොදවා ඇති බවත්, පැනගිය සිරකරුවන් සොයා මෙහෙයුම් ඇරඹී ඇති බවත් ආණ්ඩුකාරවරයා පවසයි. ඔහු පවසන්නේ මෙම පළාතේ තත්ත්වය පාලනය කරමින් ත්රස්තයන් මෙල්ල කිරීමේ අයිතිය හමුදාවට මෙන්ම, ජනතාවටද පවතින බවයි.