කිම් ජෝන්ග්-නැම්ගේ මෘත ශරීරය තැන්පත් කර තිබෙන ක්වාලලම්පූර් හි මෘත ශරීරාගාය වෙත විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
උතුරු කොරියානු නායක කිම් ජෝන්ග්-උන්ගේ සහෝදරයා (අර්ධ) පසුගිය සතියේදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූයේ ක්වාලලම්පූර් නුවර ගුවන් තොටුපොළේ රැඳී සිටියදීය.
ඔහුගේ මරණය අභිරහස් ඝාතනයක් බව පසුව හෙළි වූ අතර, මරණය පිටුපස උතුරු කොරියානු නායකයා සහ රජය සිටින බවට කටකතා මතුවන්නට විය.
මේ අතර, කිම් ජෝන්ග්-නැම්ගේ පුතා වන කිම් හැන්-සොල් සිය පියාගේ මෘත ශරීරය තහවුරු කරගැනීම සඳහා මැලේසියාවට පැමිණීමට නියමිත බවද සඳහන් කෙරිණි.
ඒ අනුව, විශේෂ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකෙරනු ඇති අතර, පසුව මෘත ශරීරය මුදාහැරීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත්, මෙම මරණය සමග මැලේසියාව හා උතුරු කොරියාව අතර තරමක උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර, මැලේසියාව විසින් උතුරු කොරියාවේ සිටින තම තානාපතිවරයා යළි කැඳවීමක්ද කර තිබුණි.