කිම් ජොන්ග්-උන් සමග සිදුවන ඒ ඓතිහාසික හමුව කල්තියා ගනු ලැබූ සාම ප්රයත්නයක් බවත්, මේ අවස්ථාව කිසිසේත්ම අපතේ යෑමක් නොවන බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
කිම් ජොන්ග්-උන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෙම හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේදී 12දා පැවැත්වීමට නියමිත අතර, මීට සහභාගී වීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අද (10දා) කලින්ම සිංගප්පූරුව වෙත ළඟා වීය.
සිංගප්පූරුව වෙත ළඟාවෙමින් සිටියදී ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබුණේ මෙම හමුවෙන් උතුරු කොරියාවට මෙන්ම සමස්ත ලෝකටයම වඩාත් හොඳ ප්‍රතිඵලයක් අත්වනු ඇති බවයි. එම හමුව පැවැත්වෙන දිනය වඩාත් ආකර්ෂණීය දිනයක් වනු ඇති බවත්, තම භූමියේ සාමය හා සෞභාග්‍ය උදාකර ගැනීම සඳහා මෙම දුර්ලභ අවස්ථාව වෙනුවෙන් කිම් ජොන්ග්-උන්ද දැඩි කැපවීමකින් කටයුතු කළ බවත් ට්‍රම්ප් කියයි.
නායක දෙපළටම මෙම හමුව සඳහා සූදානම් වීමට හෙට (11දා) දිනය සම්පූර්ණයෙන්ම පවතින අතර, ඔවුන් අනිද්දා (12දා) කැපෙල්ලා හෝටලයේදී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වීමට පෙර සිංගප්පූරු අගමැති ලී සියැන් ලූන්ග් ද මුණගැසෙනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
උතුරු කොරියානු නායකයෙකු බලයේ සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු හමුවන ප්‍රථම ඓතිහාසික හමුව ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.