උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ ඝාතනයට ලක්වූ සහෝදරයා (අර්ධ) වන කිම් ජොන්ග්- නාම්ගේ පුත්රයෙකු සිය පියාගේ අභාවය තහවුරු කරන වීඩියෝවක් ප්රකාශයට පත්ව තිබේ.
ඉතා කෙටි කාලයක් ධාවනය වන හා ඇතැම් කොටස් ඉවත්කර ඇති මෙම වීඩියෝවෙන් එම තරුණයා පවසා සිටින්නේ, "මගේ නම කිම් හැන්-සොල්, මම උතුරු කොරියාවේ, කිම් පවුලේ සාමාජිකයෙක්" යනුවෙනි.
තමන් මව හා සහෝදරිය සමග ජීවත්වන බවද හෙතෙම පැවසුවත්, එම වීඩියෝව එළිදැක්වූ දිනයක් හෝ ස්ථානයක් පිළිබඳ තොරතුරු හෙළි නොකිරීමද විශේෂත්වයකි. කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් කිම්ගේ පවුලේ සාමාජිකයෙකු ප්රථම වරට අදහස් දැක්වූ අවස්ථාව ලෙසද මෙය සැලකෙයි.
මෙම තරුණයාගේ පියා පසුගිය පෙබරවාරි 13 වැනිදා මැලේසියාවේ ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේදී ඝාතනයට ලක්වූ අතර, ඔහුගේ මුහුණට උග්ර විෂ රසායනිකයක් ගල්වා තිබුණි.
මෙම වීඩියෝවේ සිටින තරුණයා කිම් හැන්-සොල් බව දකුණු කොරියානු බුද්ධි අංශ විසින් තහවුරු කර තිබේ.