වතිකානුවේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ කාදිනල් ජෝර්ජ් පෙල් තමාට එරෙහිව එල්ල වී ඇති ලිංගික හිංසන චෝදනාවන් සම්බන්ධ ඓතිහාසික නඩු විභාගයට මුහුණ දෙමින් සිටියි.
කාදිනල්වරයා අධිකරණය හමුවේ පවසා තිබුණේ මෙම චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවයි. තමන් කිසිදු ආකාරයේ වරදක් නොකළ බව හෙතෙම නිරන්තරයෙන් පවසා ඇත.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයා මෙම නඩු විභාගය ඉදිරියට පැවැත්වීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි පවතින බව අවධාරණය කර තිබේ.
76 වැනි වියෙහි පසුවන පෙල් කාදිනල්වරයා ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයාද වන අතර, වතිකානුවේද වඩාත් බලසම්පන්න චරිතයක් විය.
මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය වෙත පෙල් කාදිනල්වරයා රැගෙන එන අවස්ථාවේදී විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර, මාධ්‍යවේදීන් විශාල පිරිසක් හා ජනතාව එක්රැස්ව සිටි බව සඳහන් වෙයි.
වතිකානුවේ බලඅධිකාරියට අනුව තෙවැනි ස්ථානයේ පසුවූ කාදිනල්වරයා සිය තනතුරුවලට තාවකාලික විරාමයක් තබමින් පසුගිය වසරේදී යළි සිය රටට පැමිණියේ තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවන්ට අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහාය.
කාදිනල්වරයාට එරෙහිව එල්ල වන චෝදනාවන්ට අදාළ බොහෝ සාක්ෂි නඩු විභාගය පැවැත්වෙන තුරු රහසිගතව පවත්වා ගැනීමට කටයුතු කර තිබේ.