රුසියානු හමුදාව සිය සන්නද්ධ රථ යොදා ගනිමින් ක්‍රිමියාවේ සෙවෙස්ටපෝල් නගරය අසල පිහිටි යුක්රේන යුද හමුදා කඳවුරක තාප්ප පෙරලා දමමින්, අහසට වෙඩි තබමින් ඊට ඇතුල් වී ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, එම කඳවුරේ සිටි යුක්රේන හමුදා රුසියාවට යටත් වීම ප්‍රතික්ෂේප කරන ලද බවත් වාර්තා වෙයි.
‘බෙල්බෙක්’නම් යුද කඳවුරේ තාප්ප කඩා බිඳ හෙළමින් රුසියානු හමුදා ඊට ඇතුල් වෙද්දී වෙඩි හඬ ඇසුන බවත් ක්රිමියානු වාර්තාවන්හි දැක්වෙයි.
රුසියානු හමුදා තමන්ට පහර දුන්නොත් අහසට වෙඩි තබන මෙන් යුක්රේනියානු අණදෙන නිලධාරියා සිය සොල්දාදුවන්ට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී එක් සොල්දාදුවෙකුවත් තුවාල ලබන්නට ඇති බව එහි සිටින විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි..
ඉන් පෙර සෙවෙස්ටපෝල් නගරයට උතුරින් පිහිටි ‘නොවෆෙදරිව්කා’ ගුවන් හමුදා කඳවුරේ පාලනයත් රුසියානු හමුදා සියතට ගනු ලැබිණි.
රුසියාවට සහයෝගය පළ කරන කණ්ඩායම් එම ගුවන් හමුදා කඳවුරට කඩා පැන එහි ගොඩනැගිලිවල ජනේල බිඳිමින්,කඳවුරේ ප්‍රදර්ශනය කෙරුණු යුක්රේන සංකේත විනාශ කරමින් ක්‍රියාකළ බවද වාර්තා වෙයි.
රුසියානු පාලනයට සහයෝගය පළ කරන කණ්ඩායම් එම කඳවුරට කඩා පැනීමේදී දුම් බෝම්බ ප්රහාරද එල්ල කර තිබුණි.