පොරොන්දු කඩ කරන දේශපාලඥයෙකු ලෙස ටෝනි ඇබොට්ගේ ජනප්රියත්වය පහළ ගොස් ඇති බවත්, ඔහුගේ පක්ෂ නායකත්වයට අභියෝග එල්ල වී ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
අගමැතිවරයා මීට වසර එකහමාරකට පෙර ලිබරල් පක්ෂය නියෝජනය කරමින් වැඩි ඡන්ද විශාල ප්රමාණයකින් එහි නායකත්වයට පත් වුවද, පසුගිය සති කිහිපයේදී ඔහුගේ ජනප්රියත්වය ශීඝ්රයෙන් පහළ වැටීම තුළ එම පක්ෂයේම මන්ත්රීවරයෙකු ඔහුගේ පක්ෂ නායකත්වයට මෙසේ අභියෝග කර තිබේ.
වඩාත් ජනප්රිය චරිතයක් ලෙස කරළියට පැමිණියත් ඔහු මේ වනවිට තම දේශපාලන දිවියේ පොරොන්දු කඩකරන්නෙකු ලෙස එරට වැඩි දෙනෙකු පිළිගන්නා තත්ත්වයක් උද්ගතව ඇති බැවින් මෙසේ අගමැතිවරයාගේ ජනප්රියත්වය හීන වී ඇති බවද පවසයි.
මේ තත්ත්වය තුළ ඔහුගේ පක්ෂ නායකත්වය තහවුරු කිරීමට පක්ෂය තුළ ඡන්දයක් විමසිය යුතු බවට මන්ත්රී යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර, ලබන 10 වැනිදා පැවැත්වෙන එම අභියෝගයට තමන් මුහුණ දෙන බව ඇබොට් අගමැතිවරයා පවසයි.