උතුරු කොරියාවේ හිටපු නායකයන්ගේ යෝධ පිළිරූ පුපුරණ ද්‍රව්‍ය යොදාගත් ඩ්‍රෝන යානා යොදාගනිමින් පුපුරුවා හැරීමට කැරලි කණ්ඩයමක් සූදානම් වෙයි.
මෙම උරිමින්සෝක්කිරි කැරලි කණ්ඩයම විසින් දැනටමත් ඔවුන්ගේ ප්‍රථම ඩ්‍රෝන යානය චීන දේශසීමාවේදී පරීක්ෂණ ගමන් වාරයක් සිදුකර ඇති බව ඔවුන්ගේ ප්රචාරක වෙබ් අඩවිය පවසයි.
එහිදී, උතුරු කොරියාව පාලනය කළ කිම් ඉල්-සන්ග් හා කිම් ජෝන්ග්-ඉල්ගේ දැවැන්ත පිළිරූ පුපුරුවා හැරීමට ඔවුන් සූදානම් වන අතර, ඔවුන්ගේ එම සැලැස්මට දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ග්වෙන්-හයි වෙතින් අනුමැතිය හිමිව ඇති බවද එම වාර්තාව පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මිත්‍ර සංග්‍රහය හේතුවෙන් ජනතා දෝෂදර්ශනයට මෙන්ම, පාර්ලිමේන්තු දෝෂාභියෝගයකට මුහුණදී සිටින දකුණු කොරියානු නායිකාව මීට සහයෝගය දැක්වීම හරහා තමාට අහිමි වූ ජන ආකර්ෂණය නැවත දිනාගැනීමේ උත්සාහයක නිරතව සිටින බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති උතුරු කොරියාව පවසන්නේ කිසිවිටෙකත් තම රටේ ස්වෛරීත්වයට බලපෑමක් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවයි.
කිසිවෙකු විසින් රටේ හිටපු නායකයන්ගේ ප්‍රතිමා පුපුරුවා හැරීමට උත්සාහ කරන්නේ නම් ඔවුන්ට පෙරළා ප්‍රහාර එල්ල කරන බවත්, ඔවුන් ලෝකයේ කොහේ සිටියත් හඹාගොස් ඔවුන්ට පහරදෙන බවත් උතුරු කොරියානු නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.