ඉරාකයේ මොසුල් නගරයට යාබදව අවතැන් කඳවුරක ආහාර විෂවීමක් හේතුවෙන් පුද්ගලයන් 800ක් පමණ රෝගාතුරව ඇති බවත්, එක් දරුවෙකු ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වෙයි.
රාමදාන් සමයේ සාමාන්‍ය රාමදාන් උපවාසය අවසානයේදී ලබාගන්නා ඉෆ්තාර් ආහාරය විෂවීමක් හේතුවෙන් ඔවුන් වමනය කිරීමටත්, වැඩිදෙනෙකු විජලනය තත්ත්වයක පසුවන බවත් විදෙස් වාර්තා පවසයි.
ඉරාක හමුදා විසින් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට එරෙහිව මොසුල් නගරයේ සිදුකරන මෙහෙයුම් හේතුවෙන් අවතැන් වූවන් රැඳී සිටින මෙම සරණාගත කඳවුර මොසුල් හා ඉබ්රිල් නගර අතර වන හසන්ෂාම් යූ2 ලෙස සැලකෙයි.
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසා සිටියේ ආහාර විෂවීම පිළිබඳ සිද්ධි 800ක් පමණ වාර්තා වන අතර, ඉන් 200 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බවයි.
සිද්ධියට මුහුණදුන් කාන්තාවක පවසා සිටියේ ඔවුන් ආහාර ලබාගත් විගසම දැඩි බඩේ වේදනාවක් දැනුණු බවයි. ඒ වගේම, තමන්ට හුස්ම ගැනීමට අපහසු වූ බවත්, ඒ ආකාරයෙන්ම කඳවුරේ සිටි බොහෝ දෙනෙකු එම වේදනාවෙන්ම පෙළෙන ආකාරය දුටු බවත් ඇය කියා තිබුණි.
තහවුරු නොකළ පුවත් වාර්තා කර තිබුණේ මින් තවත් කාන්තාවකද මියගොස් ඇති බවයි.
ඔවුන් ලබාගත් ආහාරයට බොංචි, කුකුළු මස් සහ යෝගට් පැවති බවත්, ඉබ්රිල් නගරයේ අවන්හලකින් ඔවුන්ට මෙම ඉෆ්තාර් ආහාරවේල ලබාදී ඇත්තේ කටාරි නමැති පුණ්‍ය ආයතනය බවත් දැනගන්නට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇති බවද ඉරාක බලධාරීන් මෙන්ම, එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සියද පවසයි.