ඉන්දීය සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය වීමට පෙර වාදනය වන ජාතික ගීය හමුවේ සිය අසුන්වලින් නැගී නොසිටි පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කේරලයේ, තිවේන්ද්‍රම් හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ අවස්ථාවේදී මෙය සිදුව ඇති බවද එම මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ වෙතත්, පසුව මෙම පිරිස නිදහස් කර ඇති අතර, අධිකරණ නියෝගයකට පිටුපෑම හා අනෙක් පිරිස්වලට බාධාවක් හා හිරිහැරයක් වන ආකාරයෙන් හැසිරීම යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අතර, චෙන්නායි නගරයේදීද මේ ආකාරයේම සිදුවීමක් සිදුව ඇති අතර, එහිදී ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී සිනමා ශාලාවල අසුන්වලින් නැගී නොසිටි පිරිස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි.
පසුගිය මාසයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට තුළ ප්‍රදර්ශනය කෙරෙන සෑම චිත්‍රපටයකටම පෙර ජාතික ගීය වාදනය කළ යුතු බවත්, ජාතික ගීය වැයෙන අවස්ථාවේදී ප්‍රේක්ෂකයන් සිය අසුන්වලින් නැගී සිටිමින් එයට ආචාර කළ යුතු බවටත් නියෝගයක් ලබාදී තිබුණි.