දැවැන්ත මැරතන් තරගයක් බඳු ඉන්දීය මහ මැතිවරණයේ අවසන් ඡන්ද විමසීම පැවැත්වෙන එළැඹෙන 12 වැනිදාට දින දෙකක් තිබියදී එහි මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (10දා) සම්පූර්ණයෙන් අවසන් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, තම කඳවුරු වෙත ඡන්දදායකයන්ගේ ආකර්ෂණය ලබාගැනීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අන්තිම මොහොතේත් දැඩි ප්රචාරක ව්‍යාපාරයක නිරත වෙමින් සිටි බවද සඳහන් විය.
මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධුර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි බරණැස හා ගුජරාට් ඡන්දකොට්ඨාස නියෝජනය කරමින් මෙවර මැතිවරණයට තරග කරයි.
බරණැස හින්දු ජනයාගේ බල කඳවුරක් වුවත්, ඉන්දියාව තුළ දූෂණයට එරෙහිව විශාල ව්‍යාපාරයක් ගෙන යමින් සිටින අරවින්ද් කෙජ්රිවාල්, ඉහත කී ඡන්ද කොට්ඨාශයෙන් නරේන්ද්‍ර මෝඩිට එරෙහිව තරග වදින්නේ මෝඩිට විශාල අභියෝගයක් එල්ල කරමිනි.
කෙසේ වෙතත්, මෙවර මහ මැතිවරණයේදී ඉන්දීය දේශපාලනයේ ගාන්ධි පරපුර පරාජයට පත්වනු ඇති බවට ජාතික මට්ටමේ මහජන මත විමසුම් මගින් මේ වනවිටත් පෙන්නුම් කර ඇති අතර, පාලක කොංග්රස් පක්ෂය දැඩි පසුබෑමක පසුවන බවට මත පළ වේ.
ලොව දැවැන්තම ප්රජාතන්ත්රවාදී මහ මැතිවරණය ලෙස මිලියන 814ක ඡන්දදායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන මෙවර ඉන්දියානු මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීම එළැඹෙන මැයි 16 වැනිදා ආරම්භ වීමට නියමිතය.