ඉන්දියවේ බිහාර් ප්‍රාන්තයේ වයස අවුරුදු 16ක දැරියක් අතිශය දරුණු ලෙස සමූහ දූෂණයකට ලක්කර, ගමන් කරමින් තිබූ දුම්රියකින් පිටතට ඇයව වීසි කර ඇති බව වාර්තා වෙයි.
ඇය ජීවත් වූ ලක්හිසාරායි දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශයකදී පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම දැරිය පැහරගෙන ගොස් ඇති අතර, පසුගිය සෙනසුරාදා දිනයේදී ඔවුන් දෙදෙනා අතිශය අමානුෂික ලෙස තමා දූෂණයට ලක්කළ බව මෙම දැරිය පොලීසිය හමුවේ පවසා තිබේ.
පසුව ඔවුන් දෙදෙනා මෙම දැරිය දුම්රිය ස්ථානයකට රැගෙන ගොස් දුම්රියකට නංවා එහිදී හමුවූ තවත් පුද්ගලයන් තිදෙනෙකු සමග යළිත් වරක් ඇයව දුම්රිය තුළදීම අමානුෂික ලෙස දූෂණයට ලක්කර තිබේ.
පොලීසිය පවසා තිබුණේ මෙම දැරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.
චානාන් දුම්රිය ස්ථානයෙන් දුම්රියට නංවාගෙන තිබූ මෙම දැරිය, කියුල් ප්‍රදේශයේදී දුම්රියෙන් පිටතට වීසි කර ඇති අතර, පසුව දුම්රිය මාර්ගය අසල වැටී සිටි ඇය රෝහල්ගත කිරීමට එම ජනතාව පියවර ගෙන තිබේ.
පසුව, ඇය පට්නා හි රජයේ රෝහල වෙත මාරුකර යවා ඇති අතර, දුම්රියෙන් වීසි කිරීම නිසා අස්ථි බිඳීම්වලටද ඇය ලක්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වූ එස්.කේ. සිංහාල් පවසා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු දැරිය ජීවත් වූ ප්‍රදේශයේම පුද්ගලයන් දෙදෙනෙකි.
ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණය හා කාන්තා හිංසනය පිළිබඳ තත්ත්වය තවත් උග්‍ර අතට හැරී ඇති අතර, 2012 වසරේ දිල්ලි බස් රථයක් තුළදී සමූහ දූෂණයට ලක්ව පසුව ජීවිතක්ෂයට පත්වූ වෛද්‍ය සිසුවියගේ සිදුවීම එහි උච්ඡතම අවස්ථාවක් විය.