සාමාන්‍යයෙන් බඩගින්නක් දැනුණු විට කුස පිරෙන්න විවිධ වර්ගවල ආහාර අනුභව කළත්, පිහිතලවලින් කුස පුරවා ගන්නා පුරුද්දක් ගැන ඇසුවොත් ඔබ පුදුම වනු ඇත.
කෙසේ වෙතත්, ඉන්දියාවේදී සිදුකළ හදිසි ශල්‍යකර්මයකදී පුද්ගලයෙකුගේ උදරය තුළ තිබී පිහි තල 40ක් සොයාගැනීමට උතුරු ඉන්දියාවේ, අම්රිට්සාර් හි වෛද්‍යවරු කටයුතු කිරීමත් සමග එය තවත් පුදුමයට කාරණයක් නොවනු ඇත.
මෙසේ ශල්‍යකර්මයට බඳුන් වී ඇත්තේ මාස තුනකට වැඩි කාලයක සිට පිහි තල ගිලීමේ පුරුද්දකට ඇබ්බැහි වී සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි.
තමාගේ උදරයේ දරුණු වේදනාවක් ඇති බව පවසා මීට සති දෙකකට පමණ පෙර ඔහු රෝහල් ගත වී තිබුණත්, තමා පිහිතල ගිල දැමූ බවක් ඔහු පවසා නැත.
කෙසේ වෙතත්, ඔහුගේ උදරයේ සිදුකළ ස්කෑන් පරීක්ෂණයකදී මොහුගේ උදරයේ ඇති පිහිතල දැක වෛද්‍යවරු පුදුමයට පත්ව තිබේ.
අනතුරුව පැය පහකට අධික කාලයක් පුරා වෛද්‍යවරු පස් දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ ශල්‍යකර්මයෙන් පසුව ඔහුගේ කුස තුලින් පිහිතල 40ක් ඉවතට ගැනීමට වෛද්‍යවරු සමත්ව ඇත. ශල්‍යකර්මයෙන් පසුව ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් තිබෙන බව වෛද්‍යවරු පවසති.
මෙම පුද්ගලයා යම් මානසික ආබාධයකින් පෙළී ඇති බවද විශ්වාස කරන වෛද්‍යවරු, ඔහුගේ පවුලේ උදවිය අතරද මෙවැනි පිහිතල ගිලීමේ පුරුද්දක් පැවත ඇති බවට කරුණු අනාවරණය කරගෙන තිබේ.
කෙසේ වෙතත්, මේ වනවිට ඔහු මානසික උපදේශන සේවාවන්ටද යොමු කරමින්, යළි කිසි දිනෙක පිහියක් අතින් නොඅල්ලන තත්ත්වයට ඔහු පොරොන්දු කරවා ගනිමින් සිටින බවද වෛද්‍යවරු පවසති.