මධ්‍යම ඉතාලියේ මෝටර් රථයක ගමන් කරමින් සිදුකළ වෙඩි තැබීම් කිහිපයින් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැසේරාටා ප්‍රදේශයේදී වෙඩි වැදීමට ලක්වූ සියලුම දෙනා විදේශිකයන් බවත්, එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත් පොලීසිය පවසයි.
වෙඩි තැබීම සිදුකළ සැකකරු ඉතාලි ධජයක් සිය ගෙලෙහි ඔතාගෙන සිටි බවත්, පසුව පොලීසියේ මැදිහත්වීමෙන් ඔහු අත්අඩංගුවට ගත් බවත් සඳහන් වෙයි.
නගරයේ ස්ථාන කිහිපයකදීම මෙම වෙඩි තැබීම් සිදුව ඇති අතර, නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයක ඉන් එක් තැනකි. මේ තත්ත්වය තුළ හැකි තරම් නිවෙස් තුළටම වී සිටින ලෙස පොලීසිය නගර වාසීන්ට දැනුම් දී තිබේ.
නගරය පුරා සැරිසරමින් මෙම වෙඩි තැබීම සිදුකිරීම සඳහා සැකකරු විසින් කළු වර්ණයෙන් යුතු ඇල්ෆා රොමියෝ මෝටර් රථයක් යොදාගෙන ඇත.
කෙසේ වෙතත්, මෙය ප්‍රහාරකයා තනිව සැලසුම් කළ ප්‍රහාරයක්ද, නැත්නම් ඒ වටා තවත් ජාලයක් සම්බන්ධ වී සිටිද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ අතර, තවත් වාර්තාවලින් කියවී තිබුණේ සිද්ධියෙන් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවය. නමුත්, පොලීසිය එය 4 දෙනෙකු බව පවසයි.
එමෙන්ම, ප්‍රහාරයෙන් ප්‍රතිකාර ලබන අය විදේශිකයන් ලෙස පොලීසිය හැඳින්වුවත්, එරට මාධ්‍ය පවසන්නේ ඔවුන් සියලු දෙනා කළු ජාතික හෝ සංක්‍රමණිකයන් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි තරුණයෙකු බවත්, ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නාසි ආචාරය සිදුකළ බවත් ඉතාලි මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කරයි.