ඇෆ්ගනිස්ථානයේ හමුදා කඳවුරකදී ඇෆ්ගනිස්ථාන සොල්දාදුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඇමෙරිකානු සෙබළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 7දෙනෙකු තුවාල ලබා තිබේ.
ඇෆ්ගනිස්ථානයේ, උතුරුදිග බල්ඛා පළාතේ, මසර්-ඒ ෂරීෆ් නගරයේ ෂාහීන් හමුදා කඳවුර තුළින්ම එල්ල වූ මෙම ම්ලේච්ඡ ප්රහාරයෙන් පසුව එහි සිටි සෙසු ඇමෙරිකානු සොල්දාදුවන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත් බව ඇමෙරිකාව පවසයි.
නේටෝ හමුදා ප්රමුඛව සිදුකරන මෙහෙයුම්වලට සම්බන්ධ මෙම ඇමෙරිකානු හමුදාවන්ට එල්ල වූ ප්රහාරයේදී එක් ඇෆ්ගනිස්ථාන සොල්දාදුවෙකුද ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙම ප්රහාරය සිදුකළ ඇෆ්ගන් සොල්දාදුවා ජීවිතක්ෂයට පත්වූයේද යන්න පැහැදිලි නොමැති අතර, ඔහු පැනගොස් ඇති බවටද කලින් වාර්තා විය.
රොයිටර් පුවත් සේවයට අනුව, මෙම ප්රහාරයෙන් පසුව තලේබාන් සංවිධානය පවසා තිබුණේ තම සංවිධානයට පක්ෂපාතී ඇෆ්ගන් සොල්දාදුවෙකු විසින් මෙම ප්රහාරය දියත් කළ බවයි.
එරට වේලාවෙන් ඊයේ සවස 2.00 ට පමණ සිදුවූ මෙම ප්රහාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකෙරෙන බව නේටෝ හමුදා පවසයි.
ඇමෙරිකානු විශේෂ බලකා සොල්දාදුවන් තිදෙනෙකු ඇෆ්ගනිස්ථාන කොමාන්ඩෝ භටයෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව සතියක් ගතවීමට පෙර මෙම සිදුවීම වාර්තා වෙයි.