වෛද්‍යවරුන් ලෙස වෙස් වලාගෙන පැමිණි IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදීන් කාබුල් නගරයේ විශාලතම හමුදා රෝහල වෙත කඩා වැදී සිදුකළ ප්‍රහාරයකින් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගිනි අවි හා අත්බෝම්බ රැගෙන පැමිණි ත්රස්තයන් රෝහලේ ප්‍රධාන පිවිසුම අසල සිදුකළ පිපිරීමකින් අනතුරුව රෝහලට ඇතුළු වෙමින් එහි කාර්ය මණ්ඩලයට හා රෝගීන්ට විවෘත වෙඩි තැබීමක් සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මේ සමගම ක්‍රියාත්මක වූ ඇෆ්ගන් කමාන්ඩෝ භටයන් සර්දාර් ඩාවුඩ් රෝහලේ වහළය මතට හෙලිකොප්ටර් මගින් බැස ඇති අතර, පැය කිහිපයක වෙඩි හුවමාරුවකින් පසුව ප්‍රහාරයට පැමිණ ත්රස්තයන් සිව්දෙනාම ඝාතනය කිරීමට ඔවුහු සමත්ව තිබේ.
මෙම ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් පසුව භාරගෙන තිබුණු අතර, ප්‍රහාරය හා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කර තිබුණි.
එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි ප්‍රහාරයෙන් තවත් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
සියලු මානුෂීය තත්ත්වයන් යටපත් කරමින් ඇඳන් 400කින් සමන්විත මෙම රෝහල වෙත ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඇෆ්ගන් ජනාදිපති අෂ්රෆ් ඝානි පවසයි.
ඕනෑම ආගමික දර්ශනයක් ගත්තත් රෝහලක් යනු උපකාරයක් අවැසි පුද්ගලයන් සිටින ප්‍රදේශයක් බවත්, මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සියලුම අෆ්ගනිස්ථානුවන්ට එල්ල කරන ලද්දක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.