ඇමෙරිකා එක්සත් ජනපදය සිය දෙවැනි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය අත්හදා බැලීම සිදුකර තිබේ.
ඇමෙරිකාව සතු න්‍යෂ්ටික බලය ලෝකය පෙන්වීමේ අරමුණින් මෙම අත්හදා බැලීම සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධයෙන් රැවුම් ගෙරවුම් දෙන, රුසියාව සමග යම් සීතල යුද්ධයක නිරත ඇමෙරිකාව මෙම මිසයිලය හරහා සිය බලය උරගා බලා ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
මින්ට්මෑන් 3 යනුවෙන් නම් කෙරුණු මෙම මිසයිලය කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් ගුවන් හමුදා කඳවුරේ සිට 25 වැනිදා රාත්රියේදී දියත් කර තිබුණි.
එය රාත්‍රී අහස ආලෝකමත් කරමින් පැයට කිලෝමීටර් 24,000ක වේගයෙන් ගමන් කරමින් සිය ඉලක්කය වූ කිලෝමීටර් 6,500ක් එපිටින් පිහිටි දකුණු පැසිෆික් කලාපයේ මාර්ෂල් දූපත්වල ක්වාජලෙයින් අතෝල් ප්‍රදේශයට නියමිත පරිදි පතිත වූ බවද ඇමෙරිකාව කියයි.