(UPDATE) රිපබ්ලිකන් දේශපාලඥයන් සහභාගී වූ බේස්බෝල් තරගයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන් සභිකයෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා තිබේ.
මෙම වෙඩි ප්‍රහාර එල්ල කළ පුද්ගලයා පසුව පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා, ජීවිතක්ෂයට පත්ව තිබුණි.
මෙම ප්‍රහාරකයා ඉලිනොයිස් ප්‍රාන්තයේ පදිංචි ජේම්ස් ටී. හොඩ්කින්සන් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු රිපබ්ලිකන් විරෝධියෙකු හා උග්‍ර ඩිමොක්රටික්වාදියෙකු බවත් පැවසෙයි.
කෙසේ වෙතත්, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය හිමි රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ස්ටීව් ස්කැලිස්ගේ තත්ත්වය බරපතල නොවන බවද විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු හා ඔහුගේ සහායකයන් වර්ජීනියා හිදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ.
වර්ජීනියා හිදී බේස්බෝල් පුහුණු තරගයකට සහභාගී වී සිටියදී ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය හිමි රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ස්ටීව් ස්කැලිස් සහ ඔහුගේ සහායකයන් වෙත පුද්ගලයෙකු වෙඩි තැබූ අවස්ථාවේදී ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් සහ වෙඩි තැබූ පුද්ගලයා අතර දරුණු වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.
පොලීසිය පවසන පරිදි වෙඩි පහර 50 - 100ත් අතර ප්‍රමාණයක් එල්ල වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරන ආකාරයට මෙය හිතාමතා සිදුකළ ප්‍රහාරයක් බවට විශ්වාස කෙරෙන අතර, ප්‍රහාරයට ලක්වූ දේශපාලඥයාගේ උකුල ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් කියැවෙයි. කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලබා තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිද්ධිය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම බේස්බෝල් පුහුණු තරගයෙහි තවත් ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ දේශපාලඥයන්, එහි සේවය කරන නිලධාරීන් රැසක් සිට ඇති බවද විදෙස් වාර්තා පවසයි.