ඇමෙරිකානු ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප් මෑතකදී සිදුකළ ශල්‍යකර්මයෙන් පසුව ප්‍රසිද්ධ වේදිකාවේ දක්නට නොලැබීමෙන් ඇගේ සෞඛ්‍ය මෙන්ම විවාහ ජීවිතයේ ගැටලු ඇතිවී තිබෙන බවට කසුකුසු ඇති වෙමින් පවතී.
කෙසේ වෙතත්, ජනපති ආර්යාව සම්බන්ධයෙන් පැතිර යන කටකතාවලට ප්‍රතිචාරයක් ලෙස ඇගේ ට්විටර් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ, "විවේකය අත්‍යවශ්‍යයයි, මම මගේ පවුලේ අය සමග ධවල මන්දිරයේ රැඳී සිටිනවා" යනුවෙනි.
ජනපති ආර්යාව අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ මීට දින 21කට පමණ පෙර, එනම් මැයි 10 වැනිදා උතුරු කොරියාවේ සිට නිදහස ලැබූ ඇමෙරිකානුවන් යළි මවුබිමට පැමිණි අවස්ථාවේදී ඔවුන් පිළිගැනීම සඳහා පැවති උත්සවයේදීය.
මේ අතර, මෙලානියා වෙනුවෙන් යොමුකර තිබූ ට්විටර් පණිවුඩය ඇය වෙනුවෙන් ට්‍රම්ප් විසින් නිකුත් කරනු ලැබූවක් බවටද කටකතා පැතිර යමින් තිබුණි.
පසුගිය මැයි 14 වැනිදා ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ 48 වැනි වියෙහි පසුවන මෙලානියා වකුගඩු රෝගයක් හේතුවෙක් හදිසි ශල්‍යකර්මයක් සඳහා වොෂිංටනයේ වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කරන බවය.
මේ අතර, පසුගිය 20 වැනිදා ධවල මන්දිරය පවසා තිබුණේ ශල්‍යකර්මය සාර්ථක බවත්, ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්ය.
නමුත්, මෙහිදී ධවල මන්දිරය පවසන ආකාරයෙන් ඇය සම්පූර්ණ සුවයක් ලබා නොමැති බවට කටකතා පැතිර යමින් පවතින අතර, ඇය වෙනුවෙන් ට්විටර් පණිවුඩ පමණක් නිකුත් වන්නේද සෞඛ්‍ය තත්ත්වයේ පිරිහිමී නිසා බව කියැවෙයි.
මේ අතර, තවත් කටකතාවලින් කියැවෙන්නේ මෙලානියා සිය බාල පුතු වූ බැරන් සමග නිව්යෝක් වෙත ගොස් ඇති බවයි. එය පවුල් ආරවුලක ප්‍රතිඵලයක් බව ඉන් හඟවා තිබුණි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ඉතිහාසයේ මෑතකාලීනව වඩාත් කතාබහට ලක්වන ඇමෙරිකානු ජනපති සහ ජනපති ආර්යාව බවට ට්‍රම්ප් මෙන්ම මෙලානියා පත්ව ඇති බව නොරහසකි.