ඇමෙරිකානු ජනපතිවරණයේදී විස්කොසින් ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කරන ලෙස එම ප්‍රාන්ත මැතිවරණ කොමිසම වෙත ඉල්ලීමක් ලැබී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මීට දෙසතියකට පමණ පෙර පැවති මැතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විස්කොසින් ප්‍රාන්තයේදී කරටකර තරගයකින් ජයග්‍රහණය ලැබීය.
මෙම ඉල්ලීම කර ඇත්තේ හරිත පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂිකා ජිල් ස්ටෙයින් විසිනි. එමෙන්ම, මිචිගන් හා පෙන්සිල්වේනියා යන ප්රානතවලද ඡන්ද නැවත ගණන් කිරීම සඳහා ඉල්ලීමක් කිරීමට ඇය සූදානමින් සිටින බව වාර්තා වෙයි. මෙය හරිත පක්ෂය විසින් සිදුකළත්, මේ පසුපස ඩිමොක්රැටික් පක්ෂය මෙන්ම, එහි අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සිටින බවද කියැවෙයි.
කෙසේ වෙතත්, විස්කොසින් ප්‍රාන්තයේ ඡන්ද නැවත ගණන් කිරීමකදී ඉන් ඩිමොක්රටික් පක්ෂයට වාසිසහගත තත්ත්වයක් උදා වුවද, එහි වූ නියෝජිත ඡන්ද 10 පමණක් ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපතිවරණ සිහිනයට වාසිදායක තත්ත්වයක් අත් නොකරන බව සැබෑය.
කෙසේ වෙතත්, විස්කොසින් මෙන්ම, මිචිගන් හි නියෝජිත ඡන්ද 16 සහ පෙන්සිල්වේනියා හි නියෝජිත ඡන්ද 20 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට බලපෑමක් ඇති කිරීමටත්, ඩිමොක්රටික් පක්ෂයට වාසියක් ගෙන දීමටත් හේතු විය හැකිය.
විශේෂයෙන්ම, පරිගණක මගින් සිදුකරනු ලැබූ ඡන්ද ගණන් කිරීමේදී විදෙස් රටක් විසින් මැතිවරණ ඡන්ද ගණන් කිරීමේ පරිගණක පද්ධතියට ඇතුළු වී එහි ඡන්දය වෙනස් කරනු ලැබූ බවට චෝදනාවක් ඩිමොක්රටික් හා අනෙකුත් පාර්ශවයන්ගෙන් නැගෙන චෝදනාවයි. කෙසේ වෙතත්, ඇමෙරිකානු බලධාරීන් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
මෙවැනි චෝදනාවක් හරහා ඇමෙරිකාව අනාරක්ෂිත රාජ්‍යයක් බවට ලෝකය හමුවේ ප්‍රකට වීමක් සිදුවන බවද විදෙස් විචාරකයන් පෙන්වා දෙයි. තම මැතිවරණ පද්ධතියවත් ආරක්ෂා කරගත නොහැකි රාජ්‍යයක් ලෝක සාමයක් ආරක්ෂා කරන්නේ කෙසේද යන සැකය මෙම මැතිවරණ පරාජයක් විඳදරා ගැනීමට නොහැකි අපේක්ෂකයන් ලෝකය තුළ ඉස්මතු කරන බවද විචාරකයන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම ඡන්ද නැවත ගණන් කිරීමේ ඉල්ලීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂය හෝ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් අදහස් දැක්වීමක් කර නොතිබුණි.