ඇමෙරිකානු ජාත්‍යන්තර ගුවන් තොටුපොළකදී පොලිස් නිලධාරියෙකුට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, ඒ සමග ගුවන් තොටුපොළ වසා දමා ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
මිචිගන් ප්‍රාන්තයේ, ෆ්ලින්ට් හි බිෂොප් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මෙම පහරදීම සිදුව ඇති අතර, එහිදී පොලිස් නිලධාරියාගේ ගෙලට පිහි ප්‍රහාරය එල්ල වී ඇති බවද කියැවෙයි.
මෙම පහරදීම සිදුකළ තැනැත්තා පසුව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහුගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නොතිබුණි.
එම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ සියලුම ගුවන් මගීන් ආරක්ෂිතව සිටින බවය. එමෙන්ම, අවලංගු හා පමා වන ගුවන් යානා පිළිබඳ දැනුම්වත් වන ලෙසද සියලු මගීන්ගෙන් ඔවුන් ඉල්ලා තිබුණි.
ගුවන් තොටුපොළ දෙවැනි මහලේ ප්‍රධාන පර්යන්තයේදී එරට වේලාවෙන් උදෑසන 9.45 ට පමණ මෙම අවාසනාවන්ත සිදුවීම ඇති වූ බව වාර්තා වෙයි.
සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා සිටියේ සිය ගෙලෙන් ලේ වැගිරෙන පොලිස් නිලධාරියෙකු දණින් වැටී සිටි බවයි. එමෙන්ම, පොලීසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ආකාරයත්, පිහියක් බිම වැටී තිබෙන ආකාරයත් තමා දුටු බවද හෙතෙම පවසා තිබුණි.
මිචිගන් ප්‍රාන්ත පොලීසිය පවසන පරිදි මෙම පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරියාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එෆ්.බී.අයි. විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.