ආසියානු කලාපයද අභිභවමින් ලෝකය තුළ චීනය බලවත් වීම තුළ ඇමෙරිකාව හා ඉන්දියාව සිය හමුදා ශක්තිය වර්ධනය කරගැනීම සඳහා ගිවිසුමකට එළැඹ තිබේ.
වසර 12ක කාලයක් පැවති සාකච්ඡාවලින් පසුව දෙරට අතර මෙම ගිවිසුම සිදුවී ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.
ඉන්දියාව වෙත අවි ආයුධ සපයන ප්රමුඛ සැපයුම්කරු බවට මේ වනවිට ඇමෙරිකාව පත්ව සිටින අතර, මීට පෙර එම තත්ත්වය හිමිව තිබුණේ රුසියාව වෙතය.
එමෙන්ම, දෙරට අතර ඒකාබද්ධ යුද අභ්‍යාස වෙනත් රටවලට වඩා වැඩි වශයෙන් සිදු කිරීමට ඔවුන් එකඟත්වය පළ කර තිබේ.
එමෙන්ම, ඉන්දියාව සතු සුවිශාලතම ගුවන්යානා හාරක නෞකාව ඉදිකිරීම සම්බන්ධයෙන්ද මෙම එකඟතාව සමග සාකච්ඡා පැවැත්වී ඇති අතර, චීනය ඉන්දියානු සාගරයද අභිභවමින් සිය නාවික ශක්තිය තරකරමින් සිටින වකවානුවක ඉන්දීය නාවික හමුදාව ශක්තිමත් කිරීම මෙම පියවරට හේතු වී ඇත.
මෙම ගිවිසුමට අනුව දෙරටේම හමුදාවන්ට ඒ ඒ රටවල ගොඩබිම්, ගුවන හා වරාය හමුදා සැපයුම්, අලුත්වැඩියා හා විවේක ගැන්වීම සඳහා භාවිත කළ හැකි වෙයි.