රොහින්ග්‍යා අර්බුදය මූලික කරගනිමින් ලබන සතියේ ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය එරට නිල නොලත් නායිකාවක වන අවුන්ග් සාන් සුඛි වෙත අවස්ථාව ලබා නොදීමේ උත්සාහයක් පිළිබඳ වාර්තා වෙයි.
මියන්මාරයේ රඛයින් පළාතේ වෙසෙන රොහින්ග්‍යා සටන්කාමීන් හා රජයේ හමුදා අතර පවතින සටන් මූලික කරගෙන සිවිල් වැසියන් 370,000ක් පමණ බංග්ලාදේශය වෙත ඇතුළු වී ඇති බවත්, මෙම තත්ත්වය නිරාකරණය කරගැනීමට මියන්මාර රජය අපොහොසත්ව ඇති බවත් පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාරය හුදකලා කිරීමේ තැතක යෙදෙයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා වන හුසෙන් කුමරුද පවසා තිබුණේ මියන්මාරය රොහින්ග්‍යා වැසියන් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමක් සිදුකරන බවයි.
නමුත්, මියන්මාර රජය අවධාරණය කරන්නේ තමන් සාමාන්‍ය වැසියන්ට එරෙහි යුද්ධයක් නොව, රොහින්ග්‍යා ත්රස්තයන්ට එරෙහිව යුද්ධයක් ගෙන යන බවයි.
රඛයින් පළාත තුළ වෙසෙන මෙම රොහින්ග්යාවරු බහුතරය බංග්ලාදේශයෙන් සරණාගතයන් ලෙස එම පළාතට ඇතුළු වූ අය බවත්, ඔවුන් මේ වනවිට සෞදියේ වහාබ්වාදයේ පෝෂණය ලබමින් ත්‍රස්ත සංවිධානයක් ඇති කරගෙන ඇති බවත් සඳහන් වෙයි.
මේ තත්ත්වය තුළ මෙම ගැටුම් ඇතිවීමට මූලිකම කාරණය ලෙස එරට පොලිස් ස්ථාන 30ක් එකවර මෙම ත්රස්තයන්ගේ ප්‍රහාරයකට ගොදුරුවීමත්, ඒ සමගම ආරක්ෂක අංශ නිලධාරීන් 12 දෙනෙකු ඝාතනය වීමත් හේතු විය.
ඇතැම් මාධ්‍ය මෙන්ම, නිරන්තරයෙන් සාමකාමී ජාතීන් පාගා හෙළන එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන එදා එල්.ටී.ටී.ඊ. යුද සමයේ ශ්‍රී ලංකා රජයටද චෝදනා කළ ආකාරයෙන්ම, මියන්මාරය වෙත පමණක් ඇඟිල්ල දිගු කිරීම ගුජුප්සාජනක බව ස්වාධීන මාධ්‍ය ආයතනවල අදහසයි.