පුංචි කාලෙ අම්මගෙන්, තාත්තගෙන් මිදුණොත් අනතුරක් අත ළඟ කියල තමයි කියන්නෙ. ඒ කතාව මිනිස් ලෝකෙට විතරක් නෙමෙයි, සත්ව ලෝකයේ හයක් හතරක් නොතේරෙන කාටත් පොදුයි.
වයස අවුරුදු 3 – 4 ක් විතර වෙච්චි, මේ දඟකාර අලි පැටියටත් තමන්ගෙ රැලේ කට්ටිය මඟ හැරුණා. ඇටෙන් පොත්තෙන් එළියට එනකොට පොඩ්ඩක් විසේ වැඩි හින්දම තමයි, ඒ විදියට මෙයාට රැලේ අය මඟ හැරුණෙ.
ළඟ තිබුණු පුංචි වතුර කඩිත්තට දිය බොන්න ඇවිත් හිටිය මේ අලි පැටියා නොදැක්ක මහා ව්‍යසනයක් ඒ අසලම කඳවුරු බැඳගෙන හිටියා.
වතුර ටිකක් බීල හිමින් සීරුවෙ යන්න හදන කොට, එක පාරටම මෙයාගෙ පස්සෙන් කට්ටියක් දුවගෙන එනවා. හැරිල බැලුවාම කේසර සිංහයො රැලක් මේ අලි පැටියව ඩැහැගන්න කුරුමාණම් අල්ලමින් තමයි ඉඳල තියෙන්නෙ.
අම්මව මතක් වෙලාද කොහෙද පුංචි හොඬේ උස්සල කුංචනාදයක් කළත් වැඩක් වුණේ නෑ. ජීවිත ආසාව අපි හැමෝටම තියෙන නිසා, තමන්ගෙ පුංචි කකුල්වලට වෙර දාල මෙයා දුවන්න ගත්තා. ඒත් වැඩිදුරක් දුවන්න ලැබුනේ නැහැ. ලොකු කේසර සිංහයෙක් මේ අලි පැටියගෙ පිට උඩට පැනල මෙයාගෙ බෙල්ලෙන්ම හපලා අල්ලා ගත්තා. දැන් මේ ලොකු සිංහයාවත් කරේ තියාගෙන මෙයා දුවනවා. ඒත් ඒ ගමන මීටර් කිහිපයකට සීමා වෙලා මහා වනාන්තරේ සද්ධන්ත කුලයෙන් පැවතෙන අලි පැටියා, ඒ වනාන්තරේම රජ්ජුරුවන්ගෙ පරපුරේ අයට යටත් වෙලා බිම ඇද වැටුණා.
මේ අඩපණ වීමත් සමගම පසුපසින් දුවගෙන ආපු අනෙක් සිංහයොත් මෙතැනට කිට්ටු වුණා. ඊට පස්සෙ වෙන දේ ගැන කියන්න ඕනෙ නැහැනෙ. ඇත්තටම මේ ඡායාරූප ටික දැක්කාම හද සසල කරවන තරම් වේදනාවක් එනව තමයි. ඒත් වනාන්තරේ හැටි එහෙම තමයි කියන එකත් අපි තේරුම්ගත යුතුයි.
නමුත්, මෙතනදි අපේ පුංචි දරුවන්ට ගන්න හොඳ පාඩමක් තියෙනවා. ඒ අම්මල, තාත්තලගෙන් වෙන්වෙලා චණ්ඩිකමට නොදන්න තැන්වල යන්න එපා කියන එක. මොකද පොඩි කාලෙ අපේ රැකවරණය ඔවුන්. එහෙම ගියොත්, මේ පුංචි අලි පැටියට වුණ දේ අපිටත් නොවෙන්න බැරි නැහැ කියන දේ හිතට ගන්න ඕනෙ.
සිම්බාබ්වේ රටේ හවන්ගේ ජාතික වනෝද්‍යානයේදි තමයි මේ දර්ශන ඇස ගැටිල තිබුනෙ. ඩේලිමේල් පුවත්පත වාර්තා කරන ආකාරයට ස්විට්සර්ලන්ත ජාතික හෙයිඩි සහ කර්ට් හාස් කියන දෙන්නා මේක රූගත කරල තිබුණා.