ඇය ඉපදෙන විට ඇගේ දෑතේ එකදු ඇඟිල්ලක්වත් නොවීය. නමුත්, 48 වැනි වියෙහි පසුවන ඇනේට් ගැබඩී යනු අද වනවිට විවිධ ආභරණ නිර්මාණයේ උපන් හපන්කම් පෙන්වන එංගලන්තයේ හොඳම රන්කරුවෙකි.
සමර්සෙට් ප්‍රාන්තයේ, ෆ්රෝම් ප්‍රදේශයේ ජීවත් වන ඇය රන් හා රිදී මුදු, අත් පළඳනා නිර්මාණය කරන අතර, ඒවාට විවිධ මැණික් හා දියමන්තිද යොදා ගනී.
ක්ෂේත්රයේ කීර්තිමත් රන්කරුවෙකු බවට පත්ව සිටින ඇනේට් මේ කිසිදු නිර්මාණයක් වෙනුවෙන් අමුතු හෝ විශේෂ උපකරණ භාවිත නොකිරීමද සුවිශේෂත්වයකි. ඒ නිසා ඇගේ නිර්මාණ සැබවින්ම දුටුවන් පුදුම කරන බව නොකිවමනාය.
"ඇත්තටම මම බොහොම සාමාන්‍ය කෙනෙක්. ආබාධිතයෙක් කියා මම නිකමටවත් හිතන්නෙ නැහැ. මා නිතරම මගේ සේවාදායකයන්ව සුන්දර කරනවා. ඒ වගේම, මගේ නිර්මාණ සඳහා ඔවුන්ගෙන් මා වෙත ලැබෙන අගය කිරීම ඉතා ඉහළයි."
"ආභරණයක් නිර්මාණය කරනවා කියන්නෙ, ස්පර්ශ කිරීමක් සිදුකළ යුතුයි. එනම්, ඔබට ඔබේ දෑත යොදාගන්න සිදුවෙනවා. ඇඟිලි පාවිච්චි කරන්න වෙනවා. ඒ නිසාම හැමොම මගෙන් අහන්නෙ, කොහොමද ඔබ ඇඟිල්ලක්වත් නැතිව මේ දේ කරන්නෙ කියලයි."
"එතකොට මම ඔවුන්ගෙන් පෙරළා අසන ප්‍රශ්නයක් තියෙනවා. මම ඔවුන්ගෙන් අහන්නෙ, කොහොමද ඔයගොල්ලො ඇඟිලි සේරම තියාගෙන මේ දේ කරන්නෙ කියලයි." ඇනේට් පවසයි.
මීට වසර 24කට පෙර ඇය සමර්සෙට් වෙත පැමිණ ඇති අතර, වර්තමානයේදී ඇනේට් යනු බ්‍රිතාන්‍යයේ හොඳම ආභරණ කර්මාන්තකරුවෙකු ලෙස පිළිගැනුම් ලබයි.
"ඔබ ඔබ ගැන දකින ආකාරයෙන්ම මම මා දකිනවා. අනේට් කියන චරිතය ගත්තොත්, මා උපන්නේ මේ ආකාරයෙනුයි. ඒ නිසා මා තුළින් මා වෙනසක් දකින්නේ නැහැ."
"අද වැඩි දෙනෙක් මුලින්ම දකින්නෙ මගේ නිර්මාණයි. පසුව ඔවුන් මා දුටුවොත්, මෙයාට මේව හදන්න පුළුවන්ද කියල අහන වෙලාවල් තියෙනවා. නමුත්, ඒක මා කොහෙත්ම ගණන් ගන්නා ප්‍රශ්නයක් නෙමෙයි." මේ ධෛර්යසම්පන්න කාන්තාව දෑත් හොඳන් ඇති සැමට නැවතත් තම තමන් ගැනම මෙනෙහි කිරීමට මොහොතක් දෙමින් කියා සිටියි.